මං කරදර කරන්නෙ නෑ ආදරේටයි ඉන්නෙ

http://www.silumina.lk/2012/06/24/piyavi.jpgඅපේ පැරැණියන්ගේ ආප්තෝපදේස ඉතා වටිනා ඒවාය. ජීවිතයේ එක් වරක් නොව සිය දහස් වරක් අත්දැකීමෙන් සමාජයේ යහපත පිණිස නිර්මාණය කළ ඒවාය. “අශ්වයා යවා ඉස්තාලය වැසුවා සේ” , “බලු වලිගේ උණ පුරුකේ දැම්මත් ඇද යවන්න බැහැ” ආදී පුරාණයන්ගේ වචන මිල කළ නොහැකි තරම් වූ වටිනා ඒවාය. “වෑ පස්සේ හිටියත් හිර පස්සේ සිටින්නට එපා” යැයි කියන කියමනත් ඒ වාගේමය. පොල් පරාළ අහින විට, ඒ පරාළ අහින්නා ගේ පිටුපසින් ඉන්නට එපා යැයි කියන්නේ නිතර වෑය පරාළය දිගේ ඔහුගේ පිටුපසට දුවන නිසා අනතුරු දායක බැවිනි. පිටුපස සිටින පුද්ගලයා ගේ කකුල කැපෙන නිසා ය. හිර පස්සේ සිටිනවාය කියන්නේ බිරියගේ ගේ දොර ඉඩකඩම්වල ජීවත් වීමය. එවිට බිරියට අවනත වීමට සිදුවේ. අසාධාරණය ඉදිරියේ දත කට පියාගෙන දරා ගත යුතුය. මේත් එවැනි කතාවකි.

ජයවර්ධන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තිස් අට හැවිරිදි ඔහු අවිවාහකය. පෞද්ගලික ආරක්ෂක සේවාවක ආරක්ෂක නිලධාරියෙකු ලෙස රැකියාවේ යෙදෙයි. ජයවර්ධන ජීවත්වන නිවසේ ඔහුගේ අම්මාත්, තාත්තාත්, නංගීත්, මල්ලීත් ඔහු සමඟ ජීවත්වෙති. ජයවර්ධනගේ ශරීරය හිටිහැටියේ ගැහෙන්නට පටන් ගන්නා අතර බෙල්ල අප්‍රාණිකව එක පැත්තකට කඩා වැටෙයි. වරෙක නින්දෙන් ගැහෙන්නට පටන් ගනී. බියපත්ව අවදි වෙයි. සමහර අවස්ථාවල ගෙදර අනිත් අයටත් මෙවැනි අසාමාන්‍ය බියජනක දේ සිදු වෙයි.

ජයවර්ධන බටහිර වෛද්‍යවරුන් කරා ගොස් ප්‍රතිකාර ගත්තේය. හත් අට වතාවක් ප්‍රතිකාර කරන වෛද්‍යවරයා අන්තිමට කියන්නේ “ඔබට රෝගයක් නැත” යනුවෙනි. තවත් සමහර වෛද්‍යවරු තමන්ට බැරි තැන මනෝ වෛද්‍යවරුන් කරා යන්නැයි උපදෙස් දෙති. අවසානයේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් බැරි තැන ගුප්ත විද්‍යා පැත්තට නැඹුරු විය. ‘සිළුමිණ’ පත්‍රයේ පළවන ‘පියවි ඇසින් ඔබ්බට’ ලිපි පෙළ කියවන හිතවතකුගේ මඟපෙන්වීම අනුව ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා යවන්නට තීරණය කළේය.

ජයවර්ධන පැමිණියේ හිතවතෙකු සමඟ ත්‍රිරෝද රථයකිනි. වාහනය කෝට්ටේ පාරට හරවන විට ම ඔහු “මට දැන් සනීපයි. මට දැන් සනීපයි. අපි ආපහු යමු”යි කෙඳිරි ගාන්නට විය. එහෙත් හිතවතා ඊට එකඟ වූයේ නැත. වාහනය ඇතුල් කෝට්ටේට සමීප වන විට ජයවර්ධන අඬන්නට වූයේය. තවත් දුර යන විට ඇඬිල්ල නවතා ගැහෙන්නට විය. ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට එන විට ජයවර්ධනට ඉහෙන් බහින රෝගයක් නැතිවාක් මෙන් නිරෝගී බවක් පෙනෙන්නට විය.

ජයවර්ධන පරීක්ෂණයට භාජනය වන විට ඔහුට කිසි ම ලෙඩක් ඇති බවක් අනාවරණය නොවීය. එහෙත් ඔහුගේ හිතවතා කළ විස්තරයත්, මෙහි පැමිණෙන ගමනේ දී සිදුවූ වෙනස්කම් පිළිබඳවත් පැවසූ විට මොහුට භූතාත්මයක බලපෑමක් ඇති බවත්, මේ වන විට භූතයා සැඟවී ගොස් ඇති බවත් තේරුම් ගත් ගවේෂකවරයා ගමේ පන්සලට ගොස් බෝධි පූජා දහහතරක් පවත්වා ඊළඟ දිනයේ දී පවුලේ සියලු දෙනා ම සමඟ පැමිණෙන ලෙස ද උපදෙස් දුන්නේය. බෝධි පූජාව ක්‍රමවත්ව පැවැත්විය යුතු ආකාරයත් පැහැදිලි කැර දුන්නේ ය.

බෝධි පූජා දින දහහතර පවත්වා අවසන් කොට ඊළඟ ඉරිදා පවුලේ අය සමඟ ජයවර්ධන පැමිණියේය. එහිදී ජයවර්ධනගේ අම්මාගේ ශරීරයට භූතාත්මය ආවිශ්ට විය.

http://www.silumina.lk/2012/06/24/aw.jpg”මේ කවුද?”යි ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

”ම්...ම්..මම .. ආච්චි”

”කාගෙ ආච්චි ද?”

”මේ පුතාගෙ ආච්චි”

”මොන ආච්චිද?”

”අම්මගෙ අම්මා”

”ඇයි? මෙහෙම කරදර කරන්නේ?”

”මම කරදර කරන්නේ නැහැ. ආදරේටයි ඉන්නේ”යි ඇය කීවද එසේ කියන්නේ බෙල්ල පැත්තකට ඇල කරගෙන ය.

”බොරු නම් කියන්න එපා”යි වේවැල පෙන්වනවාත් සමඟ ම අම්මා සුවපත් වූවාය. ඊළඟට තාත්තා ගැහෙන්නට වූයේය.

”ඒ පාර මේ කව්ද?”

”මම පුතාගෙ සීයා”

”ඇයි මේ ශරීරවලට රිංගන්නේ?”

”මම ඉන්නේ මගේ ගෙදර. මේගොල්ලො එනකොට මමත් ආවා. මම කරදර කරන්නේ නෑ”

පියාගේ ද බෙල්ල පසෙකට කඩා වැටී අප්‍රාණික බවක් පෙන්නුම් කැරිණි. ඔහුට ද වේවැල පෙන්නූ සැණින් සුවපත් විය. ඊළඟට නංගී අඬන්නට වූවාය.

”මේක හරි වැඩක් නේ. ඒ පාර කව්ද?”

”මම ...ආච්චි”

”කාගේ ආච්චිද?”

”මේ දුවගෙ ආච්චි. තාත්තාගෙ අම්මා”

නංගිගේ ද බෙල්ල පසෙකට ඇලවී අප්‍රාණිකව ඇත. වේවැල එල්ල කළ සැණින් ඇය ද සුවපත් වූවාය. ඊළඟට මල්ලී ගැහෙන්නට වූයේ ය. ඔහුගේ ද බෙල්ල පැත්තකට ඇලවී ඇත.

”කව්ද මේ?”

”සීයා..”

”මොන සීයද?”

”පුතාගෙ අම්මගෙ තාත්තා”

”ආ.. හැබෑද? උඹ හිතාගනින් උඹට මාව රවටන්න බැහැ. උඹ මෙතන කාලය නාස්ති කරනවා. එක එක විදිහට රඟපෑම් කරලා. හිටපිය තොට” යැයි වේවැල එල්ල කළ සැණින් ඔහු ද සුවපත් විය. ඊළඟට ජයවර්ධනගේ වාරයයි. ඔහුගේ ද බෙල්ල පැත්තකට ඇලවී අඬන්නට පටන් ගත්තේය.

”ගහන්න නම් එපා බුදු මහත්තයෝ වඳින්නම්” යැයි දෑත් එකතු කර වැඳ වැටුණේය.

”ඇයි පාරක් දෙකක් ගැහුවාම මොකද?”

”එපා එපා අනේ එපා”

”ඇයි ඒ?”

”අපේ ශරීර ඉතා ම සියුම්. වේවැල් පාරක් දරාගන්න බැහැ. වේදනාව වැඩියි. උහුලගන්න බැහැ. වේවැලෙන් පාරක් වැදුණොත් අපේ සියුම් ශරීරයේ ඒ පාර වැදුණු තැන කඩතොළු වෙනවා. එතැන නැවත හැදෙන්න අවුරුදු ගණනක් ගතවෙනවා. වඳින්නම් ගහන්න නම් එපා.”

”කෝ අර ආච්චිල.. සීයලා?”

”ඒ මගේ රඟපෑමක්”

”එතකොට තමුන් කව්ද?”

”මම මේ මල්ලිගෙ අයියා අජිත්”

”මොනවා වෙලාද මැරුණේ?”

”ඒක දිග කතාවක්”

”කමක් නෑ කියමු බලන්න”

භූතයා අඬන්නට පටන්ගත්තේය.

”හා.. හා.. ඉක්මනින් කියමු බලන්න”

”මම අජිත්. කුලී වැඩ කළ එක තමයි රස්සාවට කළේ. මේෂන් බාස්ලට අත්වැඩ දුන්නා. ඔය අතරේ ගම කෙළවරේ ගෙදරක කෙල්ලක් එක්ක යාළු වුණා. ඒකට අපේ ගෙදර අය විරුද්ධ වුණා. මම ගෙදර අයත් එක්ක තරහ වෙලා ගෙදරින් යන්න ගියා.”

”කොයි කාලෙද?”

”අවුරුදු පහළොවකට කලින්”

”ඉතිං?”

”ඉතින් ඒකිව කසාද බැඳගෙන උන්ගෙම ගෙදර නතර වුණා”

”අම්මා තාත්තා බලන්න ගියේ ම නැද්ද?”

”නැහැ”

”ඉතින්..ඉතින්?”

”ඔහොම ජීවත්වෙන කොට මගේ ගෑනි වෙනත් මිනිහෙක් එක්ක ඉන්නවා මගේ අතටම අහුවුණා.”

”ඉතින්”

”මට උන් දෙන්නව ම මරන්න හිතුණා. ඒත් එතකොටම මට දරුවව මතක් වුණා. ඒ වෙනකොට වයස අවුරුදු තුනක දරුවෙක් අපට හිටියා. මම මේකිව මැරුවොත් දරුවට අම්මයි තාත්තයි දෙන්නම නැතිවෙනවා නේද? කියලා හිතුණා.”

”ඊට පස්සේ?”

”ඊට පස්සෙ මට අම්මවයි තාත්තවයි නංගිවයි මල්ලිවයි මතක් වුණා”

”ඔය කොයි කාලෙද?”

”2001”

”ඉතින්?”

”මම කෙළින්ම අපේ ගෙදර ආවා. අවුරුදු පහළොවකට පස්සෙ. අම්මයි තාත්තයි ගෙදර හිටියා. මම දෙන්නගෙම ළඟ වැටිලා කකුල් දෙක අල්ලගෙන වැන්දා. මම ඉකිගගහ ඇඬුවා. “මට සමාවෙන්නැ”යි කීවා. ඒ අතරේ අම්මා ඉස්සර වගේම ලොකු බත් පිඟානක් මට බෙදලා දුන්නා. “කාපං මගෙ පුතේ” කියලා. මට ඒක කා ගන්න බැරිවුණා. අඬ අඬා අහුරක් දෙකක් කාලා අන අනා ඉඳලා බල්ලට හැලුවා.”

”නංගියි මල්ලියි?”

”ඒ දෙන්නත් දුකෙන් බලාගෙන හිටියා”

”තාත්තා?”

”තාත්තා අම්මට කිව්වා මෙයා අද ගෙදර යන්නෙ නැත්නම් නිදාගන්න තැනක් හදා දෙන්න කියලා”

”ඉතින් එදා එහේ නතර වුණාද?”

”නැහැ. එපා මම ගෙදර යනවා කියල ආපහු ගියා”

”කොහේද ගියේ?”

”ගෑනිගෙ ගෙදරට”

”ඊට පස්සෙ?”

”මම යනකොට ගෑනියි දරුවයි නිදි. දොර වහලා තිබුණා. මම කතාකළේ නෑ. ළිඳට දාන කඹය ගෙනැත් ඉස්තෝප්පුවේ යටලීයෙ බැඳල එල්ලිලා මැරුණා”

”එල්ලිලා මැරෙන කොට මොකද වුණේ?”

”එක පාරටම උගුරුදණ්ඩ ළඟ බෙල්ල හිරවුණා. බෙල්ල පැත්තකට ඇලවුණා. එතකොට හෑල්ලු ගතියක් දැනුණා. ඒ එක්කම අම්මවයි තාත්තවයි, නංගිවයි මල්ලිවයි මතක් වුණා. මට ගෙදර යන්න ඕනැයි හිතුණා. එතකොට ම අම්මලගෙ ගෙදර. එහෙමම මම අම්මලගෙ ගෙදර නතර වුණා.”

”එතකොට තමුන් ආහාර ගන්නෙ කොහොමද?”

”අම්මා ගෙදර අයට බත් බෙදන කොටම මම කනවා. ඒත් ඒ කෑමවලට මගේ කැමැත්තක් නෑ”

”මොනවටද කැමති”

”නංගිලා අඬන කොට ඒ දුකට මගේ බඩ පිරෙනවා”

”ඒ කියන්නේ අනුන් දුක්විඳිනවා දැක්කාම බඩ පිරෙනවා. අනුන් දුක් විඳිනවා දකින්න ආසයි නේද?”

”ඔව්”

”ඉතිං කොහොමද නංගිලාව අඬවන්නේ?”

”ඇයි මල්ලි අසනීප කළාම, බෙල්ල කඩා වැටිලා ගොරොද්දෙ අදින කොට නංගිලා අඬනවා.”

”තමුන් ඉන්න ලෝකෙ හැමෝම දුක ආහාරයට ගන්නවද?”

”නෑ..නෑ.. සමහර අය රණ්ඩුසරුවල් කරගන්නවා දකින්න කැමති අයත් ඉන්නවා. තරහ වෛර ඇති කරවලා රණ්ඩු කරනවා දැකල සතුටු වෙන අයත් ඉන්නවා. දුක ආහාරයට ගන්නා අයත් ඉන්නවා. තවත් සමහරු ශරීර ඇතුළට රිංගලා ලේ - මස් - ආහාරයට ගන්න අයත් ඉන්නවා. ඔය වගේ විවිධ අය ඉන්නවා.”

”තමුන් සැරින් සැරේ කෙඳිරි ගාන්නෙ මොකද?”

”බෙල්ලෙ අමාරුවට”

”බෙල්ලෙන් ලොකු වේදනාවක් ආවද?”

”එල්ලුණු වෙලාවෙද?”

”ඔව්”

”නැහැ එකපාරටම මළා”

”තමුන්ට මොනවද වුවමනා?”

”මම මහා දුකක් විඳින්නේ. මගේ නමින් දානයක් දීලා පින් අනුමෝදන් කරන්න කියන්න”

”එතකොට තමුන් ඔය සහෝදරයා අතහැරලා ගෙදරින් යනවද?”

”නෑ..නෑ.. මම කොහේ යන්නද? මම ගෙදර දාලා යන්නේ නෑ”

නැවත වේවැල පෙන්වයි.

”තමුන් දෙමව්පියන්ට විරුද්ධ වෙලා හිතුවක්කාර විවාහයක් කරගෙන දුකේ වැටුණා. ජීවිතේ නැති කැර ගත්තා. ඒ තමුන්ගෙ වැරදිවලට ගෙදර අය පළිද?”

”නෑ..නෑ..”

”එහෙනම් ගෙදර අයට කරදර කරන්නේ ඇයි? මේ සහෝදර සහෝදරියන්ට, මව්පියන්ට දුක් දීලා තමන් පව් කරගෙන ඔය දුගතිගාමී ආත්මයේ කල්පගණනක් දුක් විඳින්නද හදන්නේ?”

”නැහැ. එහෙනම් මම මොනවද කරන්න ඕනෑ”

”පන්සලකට ගිහින් බෝධියක් ළඟට වෙලා හිටියම නරකද?”

”බෑ..බෑ..මට බෑ..”

”ඇයි බැරි?”

”මම එහෙම කීප පොළකට ගියා”

”ඉතින් මොකද වුණේ?”

”ඒ තැන්වල ඉන්න සමහරු නපුරුයි. උන් මට ගහලා පන්නා ගත්තා.”

”තමුන් කොහේටද යන්න කැමති?”

”ගෙදරට”

”බැහැ..බැහැ .. වේවැල් පාර කාලම යන්නයි හදන්නේ” වේවැල පෙන්වයි.

”හොඳයි එහෙනම් මම යන්නම් හැබැයි දානයක් දීලා පින් දෙන්න ඕනෑ. එහෙනම් මම කැරකොප්පුවට වෙලා ඉන්නම්”

Make a Free Website with Yola.