ශ්රී ලංකාවේ ගෘහ නිර්මාණ
ශිල්පයේ ඉතිහාසය
මිහින්තලය : කළුදිය පොකුණ විජය රජුගේ සිට පණ්ඩුකාභය රාජ යුගය අතර සියවස් දෙකකට ආසන්න කාලයක් ක්රියාත්මක වූ ග්රාම හෝ නගර පිළිබඳව විස්තර මූලාශ්රවල සඳහන්ව තිබුණ ද ඉන් පණ්ඩුකාභය රාජ යුගයේදී අනුරාධපුර නගරය ඉදිකිරීම පිළිබඳව සවිස්තර මහාවංසයේ ඇතුළත් කොට ඇත. එහි විස්තර වන ආකාරයට ක්රි. පූ. 4 වන සියවසේ දී පමණ පණ්ඩුකාභය රජු නිර්මාණය කරන ලද අනුරාධපුර නගරය ද්වාර සතරකින්, ද්වාරග්රාම 4 කින් හා එක් එක් කුලවලට වෙන් වූ ග්රාම වලින්ද වැව් හා පොකුණු වලින් යුත් ක්රමවත් නගරයක් බව සඳහන් කර තිබේ. (මව. x:73-104) වංසකතාවේ සඳහන් වන ආකාරයට පණ්ඩුකාභය රාජ යුගයේදී අනුරාධපුර පුරාණ නගරය හා සම්බන්ධව ගෘහ නිර්මාණයට අයත් නෂ්ටාවශේෂ කිසිවක් පුරාවිද්යාත්මක සාක්ෂි සහිත ව මේ වන තෙක් හඳුනාගෙන නොමැත. ලේඛනගත ප්රභවයන්ට අනුව ශ්රී ලංකාවේ ගෘහ නිර්මාණයේ ඉතිහාසය සම්බන්ධව එසේ සඳහන් වුවද පුරාවිද්යාත්මක ප්රභවයන් ඇසුරින් ශ්රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ ඉතිහාසය හැදැරීමේදී එය ඉතා ඈත අතීතයට ගමන් කරන බව පෙන්වා දිය හැකිය. ලොව කොතැනක වුවද බිහි වී වර්ධනය වී ඇති මහා ශිෂ්ටාචාර ගොඩනැගී ඇත්තේ ඉතා ප්රාථමික මට්ටමින් ආරම්භ වන ග්රාමීය සංස්කෘතීන්ගෙනි. කිසිම ශිෂ්ටාචාරයක් ධූම කේතුවක් මෙන් එක්වර රේ‚ය නැග්මක් පෙන්වා නොමැත. මිසර මෙසපොටේමියානු ශිෂ්ටාචාරය, ඉන්දුනිම්න ශිෂ්ටාචාරය, හොවැංහෝ ශිෂ්ටාචාරය ආරම්භ වී ඇත්තේ ප්රාථමික ග්රාමීය සංස්කෘතීන්ගෙන් බව පර්යේෂණවල දී තහවුරු වී ඇත. ශ්රී ලංකාවේ ආදිතම මානව ජන පැලපදියම් පිළිබඳව තොරතුරු තහවුරු වී ඇත්තේ මධ්යතන පුරාශිලා යුගයට (Middle paleolithic) අයත්ව අදින් අවුරුදු 74000-125000 කාලය අතරය. (Deraniyagala 1992) නමුත් මේ මානවයා විසින් නිර්මාණය කරන ලද ගෘහ හෝ වාස්තු විද්යාත්මක නිර්මාණයන් හඳුනාගෙන නොමැති වුවද මධ්යතන පුරාශිලා අවධියෙන් අනතුරුව අදින් අවුරුදු 40000 කට එළඹෙන මධ්යශිලා (Mesolithic) සංස්කෘතික අවදියේ එම මානවයා මූලික වශයෙන් ගෘහ ඉදිකිරීම් සඳහා පෙළඹීමක් පෙන්නුම් කර ඇති බවට සාධක තිබේ. කිතුල්ගල ගල්ලෙන තුළ සිදු කරනු ලැබූ කැණීම්වල දී මධ්යශිලා මානව පැවැත්ම තහවුරු කරන නූතන අවධියට වර්ෂ 13000 කට දින නිර්ණය කරනු ලැබූ පස් ස්තරයකින් වියළි ඇතිරීමෙන් යුතු රළු ගලින් නිර්මාණය කරන ලද ගෙයක පාදමක් නිරාවරණය කරගෙන තිබේ. (Deraniyagala 1990) දැනට පිළිගැනෙන ලෙස මෙම මානව නිර්මාණය මෙතෙක් ශ්රී ලංකාවෙන් හමු වී ඇති ආදිතම පෙදරේරු නිර්මාණය ලෙස සලකනු ලැබේ. මෙවැනි නිර්මාණ මධ්යශිලා මානවයා ගල්ගුහා තුළ සිදුකරන්නට ඇත්තේ වන සතුන්ගෙන් හා ස්වාභාවික උවදුරුවලින් තම කුටුම්භයේ සාමාජිකයන් ආරක්ෂා කිරීමේ අරමුණෙන් විය යුතු යෑයි උපකල්පනය කළ හෙයින් මෙම කරුණු හැරුණු විට මධ්යශිලා අවධියට අයත් මානවයා විසින් නිර්මාණය කරන ලද වෙනත් කිසිම ගෘහ නිර්මාණයකට අදාළ ද්රව්යමය නෂ්ටාවශේෂ ශ්රී ලංකාවේ වෙනත් පුරාවිද්යා ස්ථානයකින් හඳුනාගෙන නොමැත. ශ්රී ලංකාවේ ගෘහ නිර්මාණය හා ස්මාරක ඉදිකිරීම් සම්බන්ධව වඩා ස්ථාවර වූත්, වඩාත් පැරණිතම වන්නා වූත් සාධක අපට හඳුනාගත හැක්කේ පූර්ව ඓතිහාසික (Proto historic) අවධියෙනි. ශ්රී ලංකාවේ පූර්ව ඓතිහාසික සංස්කෘතිය ක්රි.පූ. 1359 රංචාමඩම, ක්රි. පූ. 1000 අනුරාධපුරය, ක්රි. පූ. 1000 අලිගල, ක්රි. පූ. 700 ඉබ්බන්කටුව, ක්රි. පූ. 700 යාපහුව, ක්රි. පූ. 500 කන්තරෝදේ ක්රි.පූ. 350 තිස්සමහාරාමය යන ස්ථානවල විවිධ කාලවකවානු තුළ ක්රියාත්මක වී ඇත. (Somadeva 2006; Deraniyagala: 2004 Karunaratne and Adikari: 1990. Ragupathi" 1985. Wijayapala and weeishar 2001) ශ්රී ලංකාවේ ක්රියාත්මක පූර්ව ඓතිහාසික සංස්කෘතියේ විශිෂ්ටත්වය වන්නේ ඔවුන් ගැමි ජනපද මෙන්ම මහා ශෛල පිළිවෙත් සඳහා ගෘහ මෙන්ම ස්මාරක ඉදිකිරීමයි. දැනට හඳුනාගෙන තිබෙන ආකාරයට අනුරාධපුර ඇතුළුපුරය තුළ පූර්ව ඓතිහාසික මිනිසුන් ක්රි.පූ. 800 න් පසු ඉදිකරන ලද ගෘහ නිර්මාණයට අදාළ ද්රව්යමය නෂ්ටාවශේෂ ASW 2 කැණීමෙන් රොබින් කනිංහැම් තහවුරු කොට තිබේ. එම කැණීමට අදාළ ගොඩනැඟිලි අවධි (Structural Period) වලින් රවුම් ආකාර හැඩ ගන්නා නිවාස සැලසුම් නිවාස ඉදිකිරීමට භාවිත කරන ලද කණු වළවල් (Post hall) අනුව හඳුනාගෙන තිබේ. කටුමැටි වරිච්චි භාවිත කොට ඉදිකර ඇති මෙවැනි පූර්ව ඓතිහාසික ග්රාමීය නිවාස ගොම මැටි ඇතිරූ ගෙබිමකින්ද, කේතුකාකාර වහලකින් ද සමන්විත වන්නට ඇතැයි උපකල්පනය කරනු ලැබේ. (Coningham 1999) යථෝක්ත කැණීමට අදාළව වාර්තා වන පූර්ව ඓතිහාසික අවධියට අයත් මැටි මෙවලමක බඳ කොටස තුළ දැකිය හැකි නිවාස ආකෘතිය සහිත සැලැස්ම මගින් එම යුගයේ නිවාස පිළිබඳව උපකල්පනයක් ලබාගත හැකි බව රොබින් කනිංහැම් පෙන්වා දී ඇත. ස්වභාවික පරිසරයේ වන අමුද්රව්ය භාවිතයෙන් ඉදිකරන ලද මෙවැනි නිවාස රාශියකින් පූර්ව ඓතිහාසික ග්රාමයන් සැකසී තිබෙන්නට ඇතැයි උපකල්පනය කළ හැක්කේ අදටත් දකුණු ඉන්දියාව තුළ මෙවැනි නිවාස හා ග්රාමයන් දැකිය හැකි බැවිනි. පූර්ව ඓතිහාසික අවධියේ ඉදිකරන ලද ස්මාරක ඉදිකිරීම සඳහා නිවාස ඉදිකිරීමට යොදා ඇති ද්රව්යවලට වඩා ශක්තිමත් ද්රව්ය ස්මාරක ඉදිකිරීමට භාවිත කර ඇත. විශේෂයෙන්ම වළලෑම් සඳහා සකස් කොට ඇති සුසාන ස්මාරක තුළින් ඒ සඳහා ඉතා විශාල ගල් කුට්ටි හා පුවරු භාවිත කිරීම හඳුනාගත හැකිය. ඉබ්බන්කටුව, ගලේවෙල, පිංවැව, ගුරුගල්හින්න, තම්මැන්නා ගොඩැල්ල දිවුල්වැව, පදවිගම්පොල ආදී ස්ථානවලින් පූර්ව ඓතිහාසික අවධියේ ඉදිකරන ලද සුසාන හඳුනාගෙන ඇත. මේ අතරින් ශිලා මංජුසා සුසාන (Cist Burial) හා ඩොල්මන් වර්ගයේ සුසාන (Dolmanied) වර්ගයේ සුසාන ඉදිකිරීමට ටොන් ගණනාවක් බර ගල් පුවරු භාවිත කර තිබේ. (Seneviratne 1984) මේවා පර්වතවලින් වෙන් කර ගැනීම අවශ්ය වන අතර ඒ සඳහා තාක්ෂණය දියුණු වී පැවතිය යුතුය. විශේෂයෙන්ම දැඩි භාවයෙන් යුත් ග්රැනයිට් හා නයිස් වර්ගයේ පාෂාණ මෙල්ල කිරීමට අනිවාර්යයෙන්ම ලෝහ, විශේෂයෙන් වානේ ලෝහය අවශ්ය වේ. වඩිගවැව (කල්පෙ) හඳුනාගත හැකි ශිලා මංජුසා සුසානවල ගල් පියන් සකස් කිරීමට සෘජු රේ‚ය ව යෙදූ සිදුරු විද පාෂාණ පුවරු වෙන් කරගත් බවට සාධක හඳුනාගත හැකි බැවින් පූර්ව ඓතිහාසික මිනිසුන් ස්මාරක නිර්මාණය කිරීමේදී ලෝහ තාක්ෂණය උපරිමයෙන් භාවිත කර ඇති බව හඳුනාගත හැකිය. ඒ අනුව ක්රි.පූ. 3 දී මෙරටට බෞද්ධාගම සම්ප්රාප්ත වීමට ප්රථම දළ වශයෙන් ක්රි. පූ. 700 ට පෙර දී සිට ලෝහ භාවිතයෙන් පාෂාණ මෙල්ල කොට ඒවා නිර්මාණකරණයට පූර්ව ඓතිහාසික මිනිසුන් භාවිත කොට ඇති බව මේ අනුව හඳුනාගත හැකිය. එයට අමතරව අමුද්රව්ය ලෙස මැටි භාවිත කොට සුසාන ස්මාරක සැකසීම රංචාමඩමින් ක්රි. පූ. 1359 දී සිදුකොට තිබෙනු හඳුනාගෙන තිබේ. (Somadewa 2006) මෙයට සමාන ලක්ෂණ සහිත සුසාන ඉදිකිරීම් දියතලාව හල්දුම්මුල්ල ප්රදේශයෙන් හමුවන බව රාඡ් සෝමදේව ප්රකාශ කොට ඇත. ඒවා ක්රි. පූ. 1750 තරම් පැරණි බව විශ්වාස කරනු ලැබේ. ශ්රී ලංකාවේ ගෘහ නිර්මාණ කටයුතුවල දී වානේ තාක්ෂණය උපරිම වශයෙන් භාවිත කිරීම අප හඳුනාගනු ලබන්නේ ක්රි.පූ. 300 න් පසු උදාවන මුල් ඓතිහාසික සමයෙහි (Early historic) විශේෂයෙන්ම බෞද්ධාගම මෙරටට සම්ප්රාප්ත වීමත් සමඟ භික්ෂූන් සඳහා ඉදිවන ගල් ලෙන් මනුෂ්ය වාසයට සුදුසු ලෙස සැකසීමේ දී කටාරම් සහිතව එය සකස් කිරීම මේ යුගයේ සිදුකොට තිබේ. මින් පසු මධ්ය ඓතිහාසික අවධිය (Middle history) පමණ වන විට ලෙන් සංවර්ධනය වීම සිදුවී තිබේ. ඒ සඳහා ඉදිරි පියෑසි ගලින් හෝ දැවයෙන් සැකසී තිබූ බවට සාධක වෙස්සගිරිය හා මිහින්තලය කළුදිය පොකුණෙන් හඳුනාගත හැකිය. ශ්රී ලංකාවේ ගෘහ හා ස්මාරක නිර්මාණකරණයේදී මුල් ඓතිහාසික අවධියේ සිට මාධ්ය ඓතිහාසික අවධිය දක්වා සිදුවන සංවර්ධනය ඉතාම ප්රබලය. ඒ අතරින් මුල් ඓතිහාසික අවධියේ අවසාන භාගය ක්රි.පූ. 1 ක්රි.ව.2 හා මධ්ය ඓතිහාසික අවධිය ආරම්භක වකවානුව තුළ ඇති දැවැන්ත ගඩොළුමය නිර්මාණ හා පාෂාණ ආශ්රිත නිර්මාණ බිහිවීම සිදුවේ. ලොව ගඩොළින් ඉදිකරන ලද විශාලතම ස්තූප නිර්මාණ ඉදිකර ඇත්තේ මේ වකවානුවේ ශ්රී ලංකාවේ ජීවත් වූ පැරණි ඉංජිනේරුවන්ය. ඒ අතරින් ලොව සුවිසල් ගඩොළුමුවා ස්මාරකය ලෙස සැලකෙන රුවන්වැලිසෑය, අභයගිරිය ද පසුව ඡේතවන දාගැබද ඉදිකිරීම තුළින් පැරණි ශ්රී ලංකා ඉංජිනේරුවන්ගේ ගොඩනැඟිලි ඉදිකිරීම්වල හසල නිර්මාණය හා තාක්ෂණික දැනුම විදහා පා ඇත. දැනට පර්යේෂණයන්ට ලක්කොට ඇති ඡේතවන ස්තූපය ඇසුරෙන් එහි ඉදිකිරීම් කටයුතු ඇතුළු නිර්මාණ තාක්ෂණය මේ වන විට හඳුනාගෙන ඇත. අඩි 1320 ක පමණ පරිධියකින් යුත් දැවැන්ත අඩිතාලමකින් ආරම්භ වන මෙම ස්තූපය ගොඩනංවා ඇත්තේ පොලවේ පිහිටි මවු පාෂාණය මතිනි. පහල සිට කොත් කැරැල්ල දක්වා විශ්ව චක්ර ආකෘතියට අනුව රවුම් 09 ක ආකෘතියෙන් පුළුස්සනු ලැබූ ගඩොළු හා බන්ධන මාධ්ය ලෙස (Motor) මැටි භාවිත කොට මෙම දැවැන්ත ස්තූපය ඉදිකර ඇත. අවුරුදු 1600 කට වඩා වැඩි කාලයක් තිස්සේ අව්වැසි සුළං ඇතුළු ස්වාභාවික පීඩාවන්ට ඔරොත්තු දෙමින් පැවැති මෙම නිර්මාණය මතුපිට ගරාවැටීම් හැරුණු විට ඉතා ඉහළ මට්ටමින් ආරක්ෂා වී තිබීම මගින් පෙන්නුම් කරන්නේ පැරණි ඉංජිනේරු තාක්ෂණයේ විස්කම් ශක්තිය බව පෙන්වා දිය හැකිය. එසේම මධ්ය ඓතිහාසික අවධියේදී ගොඩනැඟිලි ඉදිකිරීමේ දී පීඩනය පාලනය කිරීමට හා කි¹ බැසීම වැළැක්වීමට එහි පාදම් සඳහා පාදම් ගලක් යෙදීමත්, විසිර යැම පාලනය කිරීම සඳහා කුඩුම්බි තාක්ෂණය භාවිත කිරීමත් පැරණි ගල් වඩුවන් විසින් සිදුකොට ඇති ආකාරය ඡේතවන බෝධිඝරය හා ජය ශ්රී මහා බෝධිය ගල් ගරාදි වැට තුළින් මෙන්ම ගල් කුළුණු සම්බන්ධ කිරීමට භාවිත කර ඇති තාක්ෂණය තුළින් හඳුනාගත හැකිය. එසේම එසවුම් තාක්ෂණයේදී ලීවර, පලංචි හා ආනත තල භාවිත කර තිබීම ඡේතවන ස්තූප ආශ්රිත පර්යේෂණවල දී හඳුනාගෙන තිබේ. මීට අමතරව පොකුණු ඉදිකිරීම සඳහා ගල් කුට්ටි හා පුවරු භාවිත කරමින් සිරස් ඉදිකිරීම් ක්රමද සිදුකර තිබෙන ආකාරයද හඳුනාගත හැකිය. ගොඩනැඟිලි ඉදිකිරීමේ දී ගඩොළු බැඳීමේ තාක්ෂණයේදී දිග පළල වැඩි ප්රමාණයෙන් යුත් උස අඩු ගඩොළු ගඩොළක් මත ගඩොළක් තැබීමේ තාක්ෂණයට අනුව බැඳ තිබෙන අතර එහිදී කුස්තුර ඝනකම අවම කර නිර්මාණය කිරීමද කැපී පෙනේ. ඒ සඳහා මැලියම් වර්ග සමඟ මිශ්ර කරගත් සියුම්ව හලාගත් මැටි ස්ථරයක් දියර බදාම ලෙස භාවිත කිරීම ඡේතවන ස්තූප පාදම තුළින් හඳුනාගෙන තිබේ. මෙම බදාම මහාවංසයේ නවතීන මැටි ලෙස විස්තර කොට ඇත. ගොඩනැඟිලි ආශ්රිත ගඩොළු බැඳීමේ තාක්ෂණයේදී අනුරාධපුර යුගයේ මෙවැනි ක්රම අනුගමනය කළ ද පොළොන්නරු රාජධානි අවධියේදී හුණු මිශ්රණ භාවිත කර කුස්තුර ඝනකම වැඩිවන ආකාරයට ගොඩනැඟිලි නිර්මාණය කර තිබෙන ආකාරය ශ්රී ලංකාවේ වාස්තු විද්යාවේ තාක්ෂණය අධ්යයනය කිරීමේදී පැහැදිලි වේ.
|
