ළදා වහන්සේගේ
ඓතිහාසික තතු ඇතුළත් දළදා සිරිත


හසීකා රංගනී ගමගේ

බුදු දහම හා එකිනෙක බැඳී පවතින වස්‌තූන් මුල් කරගෙන ග්‍රන්ථ සම්පාදනය කිරීම ඈත අතීතයේ පටන් පැවැති සම්ප්‍රදායකි. ඊට නිදසුන් වශයෙන් බෝධි වංශය. දළදා වංශය, සමන්ත කූඨ වර්ණනාව ආදිය දැක්‌විය හැකිය. ඒ අතරින් දළදා වහන්සේට මූලිකස්‌ථානයක්‌ හිමි වනු ඇත. ක්‍රි.ව. 4 වැනි සියවසේ දී කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු දවස හේමමාලා හා දන්ත කුමරු බුදු රජාණන් වහන්සේගේ වාම දළදාව රැගෙන ලක්‌දිවට සපැමිණි සිදුවීම ඇතුළත් කරමින් "එළු දළදා වංශය" රචනා වූ බව ඉතිහාසය පිරික්‌සීමෙන් හෙළි වෙයි."

ඉන් පසු ව පොළොන්නරු යුගයේ ලීලාවතී රැජිණ රජ සමයේ රාජගුරු ධර්ම කීර්ති හිමියන් විසින් එළු දළදා වංශය උපයෝගී කර ගනිමින් "පාලි දාඨා වංශය" රචනා කරන ලදී. ෂඪ පරාක්‍රමබාහු රජු දවස කුරුණෑගල යුගයේ දී කිසියම් යතිවරයෙකු විසින් "දළදා පූජාවලිය" නමින් නැවත දාඨා වංශය සිංහලයට පරිවර්තනය කරන ලදී. එම යුගයේ දීම දෙව්රද දම් පසඟිනාවන් විසින් "දළදා සිරිත" නමින් කෘතියක්‌ රචනා කරන ලදී.

දළදා සිරිතෙහි ඇතුළත් වන්නේ දළදා වහන්සේ පිළිබඳ අතීත ප්‍රවෘත්තීන් හා දළදා වහන්සේ වෙනුවෙන් පැවැත්විය යුතු පුද සිරිත් ආදියයි. මෙම කෘතිය පරිච්ඡේද හෙවත් "පිරිසෙය" හතකින් සමන්විත අතර දාඨා වංශය මූලාශ්‍රය කර ගනිමින් රචනා කොට ඇත. මෙහි කතුවරයා හා කාලය පිළිබඳ එම කෘතියෙහි සඳහන් වන්නේ මෙලෙසිනි.

"සකවසිනෙක්‌ දහස්‌ දෙසිය සත්සාළිස්‌ වස්‌ සපිරුණු සඳ සසිරිබර මෙ සිරිලක රජසිරි පැමිණි රජ ගමිණි පැරකුම් නිරිඳු සඳ සඳෙකලෙස මෙ සිරිත් කරන ලදී"....

"සකු මගධ හෙළු නළු කිවිසක ගත් උගත්, අදුරු තෙරිඳු පැරකුම්බා පිරිවෙණ සොමිගුණ සරණ සී කැරැතුස්‌වා සලදකුළුණිනි දෙව්රද දම් පසඟිනාවන් කළ මේ සිරිතැ".....

(සෝරත හිමි, 1950, 54 පි.)

ශක වර්ෂ 1247 හෙවත් 1325 දී කුරුණෑගල පරාක්‍රමබාහු නිරිඳුගේ නියමය පරිදි රචිත බවත් දෙව්රද දම් පසඟිනා නැමැත්තෙකු මෙහි කතුවරයා බවත් පැහැදිලිය. දම් පසඟිනා නම් ඔහුට ලැබුණු නිල නාමයක්‌ විය හැකිය. එය ධර්මය මැනවින් ආරක්‍ෂා කරන පුද්ගලයාට ලැබුණු නාමයක්‌ යෑයි සිතිය හැකිය.

දළදා සිරිත පාඨක ශ්‍රාවක සිත් සතන් ඇද බැඳ ගත්තේ එහි රචනා විලාසය නිසාවෙනි. දළදා පුවත පිළිබඳ ජනයා හොඳින් අසා ඇතත් කතුවරයා ඒ සඳහා යොදා ගත් භාෂා වේ අපූර්ව ස්‌වභාවය නිසා එය ජනප්‍රිය ග්‍රන්ථයක්‌ බවට පත් විය.

පැරැණි ග්‍රන්ථාචාර්යවරුන් විසින් සඳහන් කරන ලද අයුරින් ම රත්නත්‍රයට නමස්‌කාර කරමින් ග්‍රන්ථාරම්භයට පිවිසීම දළදා සිරිත් කතු ක්‍රියා කොට ඇති ආකාරය පැහැදිලි ය.

"නමව් රුවන්තියා, දියත සැඳි මුඳුන් තෙරුවන් මුqදුන් කැරැ ගොයුම් ගොත් අප මුනිඳු දළදා සිරිත පොරණැජරන් වියූ වදන් මඟ අරුත් නොවිහිදැ සිය බසින් ලුප් පවසම් හෙ කෙසෙනි? යත්...."

(01 පි)

දළදා සිරිතේ පරිච්ඡේද හඳුන්වා ඇත්තේ "පිරිසෙය" යන නමිනි. පිරිසෙය හතකින් සමන්විත දළදා සිරිතේ පළමු පරිච්ඡේදයෙන් සුමේධ තාපස අවධියේ පටන් පාරමී ධර්මයන් පුරා බුදුවීම, දම්සක්‌ පැවතුම් සූත්‍ර දේශනාව පැවැත්වීම දක්‌වා විස්‌තර ඇතුළත් වේ. මෙහි දෙවන පරිච්ඡේදයෙන් බුදු හිමිගේ ලංකා ගමන් විස්‌තර, සම්බුද්ධ පරිනිර්වාණය හා ධාතු විසිර යැමේ ප්‍රවෘත්තීන් අන්තර්ගත ය. මෙහි තුන් වන පරිච්ඡේදයෙන් පඬු රජු දළදා වහන්සේට කළ විපත් හා දළදා වහන්සේ පෑ ප්‍රාතිහාර්යය සහ අවසානයේ පඬු රජු දළදා වහන්සේ සරණ යැම ආදී පුවත් අන්තර්ගතය. සිව් වන පරිච්ඡේදයේ දී පඬු රජුගෙන් දළදාව ඉල්ලා ‚රධාර නම් රජෙකු සටන් වැදීමේ පුවතත් එහි ප්‍රතිඵලයක්‌ ලෙස ගුහසීව රජු දළදා වහන්සේ හේමමාලා හා දන්ත කුමරු අත ලක්‌දිවට පිටත්කර එවීම පිළිබඳ ව විස්‌තර ඇතුළත් ය.

කිත්සිරිමෙවන් රජු දළදා වහන්සේ වෙනුවෙන් සිදුකළ විවිධ පුද පූජා පිළිබඳ පස්‌ වන පිරිසෙයින් කියවෙයි. මුල් පරිච්ඡේද පහ පාලි දාඨා වංශයෙහි ද බොහෝ දුරට මෙලෙස ම සඳහන් වෙයි.

හය වැනි පරිච්ඡේදයෙන් කිත්සිරිමෙවන් රජු පටන් ලංකා රාජ වංශය දක්‌වා දළදා වහන්සේට පුද සත්කාර කළ විවිධ රජවරුන්ගේ නාමාවලිය අන්තර්ගත ය.

මෙහි සඳහන් අවසන් පරිච්ඡේදයේ ෂඪ වැනි පරාක්‍රමබාහු රජුගේ විවිධ වූ ශාසනික ක්‍රියාදාමය ද දළදා වහන්සේ උදෙසා පවත්වන ලද විවිධ පුද පූජා විධීන් ද දළදා වහන්සේ වෙනුවෙන් පැන වූ ව්‍යවස්‌ථා පද්ධතියක්‌ ද විස්‌තර කොට ඇත. මහාවංශයේ පරිච්ඡේද කිහිපයකින් දීර්ඝ ලෙසින් විස්‌තරකොට ඇති ඓතිහාසික රාජ පරම්පරාවේ ඉතිහාසය, ඔවුන් විසින් දළදාව උදෙසා පැවැත්වූ පුද සත්කාර පිළිබඳ විස්‌තර ඉහත පරිච්ඡේද දෙකෙහි සංක්‍ෂිප්තව දක්‌වා ඇත.

දළදා සිරිතෙහි සඳහන් සත් වන පරිච්ඡේදය මගින් වැදගත් සමාජ ඓතිහාසික හා සංස්‌කෘතික තතු රැසක්‌ ද හෙළි වෙයි.

දළදා වහන්සේ වෙනුවෙන් පැන වූ නීති රීති කිහිපයක්‌ වෙත අවධානය යොමු කරමු.

"දළදාගෙයි රන්බාතුණින් තුන්වැනි ගඳ කිළියේ රන් බා වෙන් ඇතුළට යාන් අතුරන්නන් විනා අන් කිසිකෙනකුන් නො වදිනාව ඉසා,

"දෙ වැනි රන් බාවෙන් ඇතුළට මහ සඟන රජ දරුවන් වොටුනු ගෙට වදිනවුන් දළදාගේ බලන්නන් ධර්මධරයන් මිස සෙස්‌සන් නොවදිනාව ඉසා,

"තුන් වැනි රන්බාවෙන් ඇතුළට මැති මඬුලු වදිනාව ඉසා,

"රජ දරුවන්ගෙන් පොහොයක්‌ පාසා පොහොතලියක්‌ පුද කරනුව ඉසා...."

"රජ දරුවන් මාළිගා ප්‍රවේශ වන කල පළමු දළදා පාත්‍ර ධාතුන් වහන්සේ වඩා මහ සඟන ලවා පිරිත් කරවා පිරිත් පැන් ඉස්‌වා අරක්‌ කැරැ තුනුරුවනට පූජා කොට ප්‍රවේශ වනුව ඉසා..."

(49, 50, 51 පි)

මේ අනුව දළදා වහන්සේ කෙරෙහි කෙතරම් ගෞරවයක්‌ තිබුණේ ද යන වග මෙහිදී අවබෝධ වනු ඇත. එපමණක්‌ නොව එකල දළදා වහන්සේගේ ආරක්‍ෂාව වෙනුවෙන් රජ දරුවන් කැප වී ක්‍රියා කළ යුතු බවද සඳහන් වේ.

දළදා සිරිතේ උපයුක්‌ත භාෂා විලාසය පිළිබඳව අවධානය යොමු කළ හොත් එය "වෘත්ත ගන්ධී" රීතියට අනුකූල ව රචනා කොට ඇති බව බොහෝ විද්වතුන්ගේ මතයයි.

"වෘත්තස්‍ය පද්‍යස්‍ය ගන්ධො ලෙශ ඉව යස්‌මින් ගද්‍ය විශේෂඃ"

(විරිතක සුවඳ ලේශයක්‌ මෙන් දැක්‌වෙන්නේ යමෙක ද ඒ වෘත්ත ගන්ධි නම්) එනම් වෘත්ත ගන්ධි යනු විරිතක සුවඳ ඇත්තේ යන අදහසයි.

මෙම වෘත්ත ගන්ධී රීතිය මුල් කාලීන සෙල්ලිපිවල සිටම පැවත එන රචනා රීතියකි. ශ්‍රැති රම්‍ය වූ රිද්මයකින් පද උච්ඡාරණය කළ හැකි ලෙසින් සකස්‌ වූ භාෂාවක්‌ මේ රීතියේ දැකගත හැකිය. සෙල්ලිපි වලින් ආරම්භ වූ මේ භාෂා ස්‌වභාවය පසු කලෙක ප්‍රමුඛ පෙළේ සම්භාව්‍ය ගද්‍ය කෘති රැසකම පාහේ දැකගත හැකි විය. සමස්‌ත කෘතියක්‌ පුරාවට ම මේ රීතිය දැකගත හැකි වූයේ කුරුණෑගල යුගයේ රචිත දළදා සිරිතේය.

බුද්ධ වංශ කතාව පළමු පරිච්ඡේදයෙන් හෙළි කරන අවස්‌ථාවේ මේ වෘත්ත ගන්ධී රචනා රීතිය ප්‍රයෝජනයට ගත් ආකාරය පහත නිදසුන් මගින් පැහැදිලි වෙයි.

".... සව් සැපත් හවි කැමින් දැකුම් කළ රැකුම් හළ සියෝ හැම නිකම් නැසී ගියෝය" යි එදන හැම සදන්හල නිදන් කැරැ එපස්‌ කම්, නොකම්පස්‌, එකම්පස්‌ ලෙසින් දැකැ...."

(01 පි.)

මෙහි මාත්‍රා පහෙන් පහට යතිය පිහිටුවමින් එක්‌තරා විරිතක ආකාරයට පද යෙදුම් භාවිත කරමින් සිද්ධි පෙළ ගස්‌වා ඇති අන්දම දැක ගත හැකිය. එය නැවත මාත්‍රා හතෙන් හත යතිය පිහිටුවමින් ඒ රීතිය තරමක්‌ වෙනස්‌ කොට එහිම ඉදිරිපත් කොට ඇත.

..."මෝරා දෙසුත් තෝරා වරා නිවන් පුර මෙනෙන් දැනැ".... නැවත පස්‌ මතින් යතිය පිහිටුවමින්

"නිවන්පුර මෙනෙන් දැරැ, එපුර හැර, කතර මග යතර කැරැ වෙනෙන් ගොස්‌ එ සිවදා හිමව් වන පෙදෙස්‌ වන එ දම්මක නමින් වන සපිරි සිරි එගිරි වෙත...."

(01 පි.)

මේ ආදී වශයෙන් ශ්‍රැති රම්‍ය වන ලෙසින් වෘත්ත ගන්ධී රීතිය ආරක්‍ෂා වන ලෙසින් පද යෙදුම් භාවිත කොට ඇත.

දළදා සිරිතේ ඇතැම් අවස්‌ථාවල දී අනුප්‍රාස රසය වැඩි කරනු වස්‌ "උත්කලිකාප්‍රාසය" නම් ගද්‍ය රීතිය ද ඇසුරු කරන ලද බව පෙනේ. උත්කලිකාප්‍රාසය යනු දීර්ඝ සමාසයෙන් යුක්‌ත වූ තරංගයක්‌ මෙන් උස්‌ පහත් වන රචනා ස්‌වභාවය ඇති, යන්නයි.

ලුම්බිණි වනෝද්‍යානය පිළිබඳ කතුවරයා ගෙනෙන අපූර්ව වර්ණනය ඊට කදිම නිදසුනකි.

".....නන් මුවන් විලි මුවන් කෙවිල්ලන් විසින් යුත් උදුල, පුවළ පුලින තෙලෙ කෙළෙන ළඳ බොළඳ සිදඟනන් මන දඟ කළ අමින්මින් සරසැ සරැ සරැ සරණ රවන බමන බමර තිසර රැවින් සැදුම්ලත් සෘතුමදවිලම්බිනී විලසිතනිතම්බිනී විවිධ රස ලම්බිනී විකසිත කදම්බිනී පරිවෘතකාදම්බිනී මධුපකුල චුම්බිනී ලුම්බිනී වනොද්‍යානයෙහි මාතෘගර්භයෙන් ප්‍රසූතවැ..."

(04 පි)

කෙසේ වෙතත් අවස්‌ථාවෝචිතව රස නිෂ්පත්තිය නොඅඩුව ගෙන දෙමින් දළදා සිරිත් කතු ග්‍රන්ථාරම්භයේ සිට පස්‌ වන පිරිසෙය දක්‌වා මේ රීතිය ආරක්‍ෂා කිරීමට ගත් වෑයම ප්‍රශංසනීය ය. අවස්‌ථාවට අත්‍යන්තයෙන් ම ගැලපෙන හෙළ පද යෙදුම් භාවිත කරමින් කරුණා රසය උද්දීපනය වන අන්දමින් සම්බුද්ධ පරිනිර්වාණ අවස්‌ථාව ඉදිරිපත් කොට ඇත්තේ පාඨක ශ්‍රාවක සිතේ සංකල්ප රූප මවමිනි.

දළදා සිරිත ගද්‍ය ග්‍රන්ථය පාඨකයා අතර ජනප්‍රිය වීමට එහි ඓතිහාසික තතුවලට අමතරව මූලිකව ම බලපෑවේ මෙහි ඇතුළත් රචනා ශෛලිය බව පැහැදිලිව ම සඳහන් කළ යුතුය.

ආශ්‍රිත ග්‍රන්ථ
සෝරත හිමි, වැලිවිටියේ, (1950),
දළදා සිරිත, එම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.

Make a Free Website with Yola.