ගම්පොළ යුගයේ දොර උළුවහු කලාව

නිමේෂ තිවංකර සෙනෙවිපාල

ගොඩනැගිලිවල බිත්තියට වැසීම සහ විවෘත කිරීම සඳහා දොරටු සවි කිරීමට උපයෝගි කරගනු ලැබූ රාමුව දොර උළුවහු ලෙසින් හඳුන්වනු ලැබෙයි. දොරටු සඳහා මෙසේ උළුවහු යොදනු ලැබීම ආරම්භ ව ඇත්තේ අද ඊයෙක නොවේ. උළුවහු සම්බන්ධයෙන් හඳුනාගත හැකි පුරාතන ම සාධක අපට හමුවන්නේ අසල්වැසි ඉන්දියාවෙනි. උළුවහුවේ ආසන්නතම පරිණාමණය ලෙසින් සැලකිය හැකි වන්නේ "තොරණ" නමැති වාස්‌තු විද්‍යාත්මක අංගයයි.

කෙසේ වෙතත් ලංකාවේ උළුවහු කලාව සම්බන්ධ ඉතිහාසය සම්බන්ධ වන්නේ මහින්දාගමනයෙන් මෙපිට යුගයට ය. මහින්දාගමනයෙන් පසු ලංකාවට තිළිණ වූ දහසකුත් එකක්‌ වන නිර්මාණ කලාවන් අතරට උළුවහු නිර්මාණය සම්බන්ධ අවබෝධයත් උප කුලකයක්‌ වශයෙන් සම්බන්ධ වන්නට ඇති බව කල්පනා කළ හැකිය. උළුවහු නිර්මාණය ලංකාව තුළ කෙතරම් සංවර්ධනයකට පත් වුවද එය කිසිසේත් සාමාන්‍ය ජනතාව සඳහා වෙන්වූවක්‌ වූයේ නැත. එය හුදෙක්‌ රාජ රාජමහාමාත්‍යාදින් හා උසස්‌ තත්වයේ පැවති විහාරාරාමයන් හි මහේශාඛ්‍ය බව පිළිබිබු කිරීම උදෙසා පැවති කලා ශිල්පයක්‌ බව පෙනේ. ලංකාවේ ඉතිහාසය පිළිබඳව ප්‍රබල මූලාශ්‍රයක්‌ වශයෙන් උළුවහු නමැති සාධකය භාවිතයට නොපැමිණීමට ද මෙම සමාජ තත්ත්වයන් බෙහෙවින් බලපා ඇති සෙයකි.

මෙරට උළුවහු හා සම්බන්ධ පුරාතන ම සාක්‍ෂි හමුවන්නේ අනුරාධපුරයෙනි. අභයගිරි විහාර සංකීර්ණයේ ඇති ක්‍රි. ව. 6 හෝ 7 වන සියවස්‌ අතර කාලයකට අයත් යෑයි විශ්වාස කළ හැකි අඩි 6.5 ක්‌ උස්‌ උළුවස්‌සත්, ෙ-තවනාරාම විහාර සංකීර්ණයේ ඇති අඩි 10 ක්‌ පමණ උස්‌ වූ උළුවස්‌සත්, කුරුණෑගල නිල්ලග්ගම බෝධිඝරයේ ඇති උළුවස්‌සත්, මිහින්තලේ කළුදිය පොකුණ අසල ලෙනක්‌ සඳහා යොදාගෙන ඇති අඩි 7.5 ක්‌ පමණ උස්‌ වූ ක්‍රි. ව. 7 හෝ 8 වැනි සියවස්‌වලට අයත් යෑයි සැලකිය හැකි උළුවස්‌සත් මේ අතර සුවිශේෂී වෙයි. අනුරාධපුර යුගයේ දී නිර්මිත උළුවහු බෙහෙවින් අවම වුවද පොළොන්නරු යුගයේදී ඊට සාපේක්‍ෂව වැඩි ගණනකින් යුක්‌ත උළුවහු ප්‍රමාණයක්‌ දැක්‌ක හැකිය. රාජධානිය නිරිත දිගට සංක්‍රමණය වීමෙන් පසුව පැවති යුගයන් හි දී නිර්මාණය විනැ"යි සැලකිය හැකි උළුවහු ගණන ඉතා සීමිත වෙයි. අවසන් රාජධානි සමයේදී පමණක්‌ භාවිත වූ උළුවහු බොහොමයක්‌ සුලබව දකින්නට පුළුවන. මහනුවර දළදා මාළි`ගය, හ`ගුරන්කෙත පොත්ගුල් විහාරය, කොත්මලේ පුසුල්පිටිය ආදි කොට ඇති මහනුවර සම්ප්‍රදායේ ස්‌ථාන බොහොමයක තත් යුගය නියෝජනය කරන උළුවහු තිබේ.

ධම්මපදට්‌ඨකථා, ධම්පියා අටුවා ගැටපදය, සිඛවළඳ විනිස, විනය විනිශ්චය, පන්සිය පනස්‌ ජාතක පොත, සද්ධර්මරතනාවලිය, සද්ධර්මරතනාකරය ආදි වූ පැරණි ග්‍රන්ථ රැසක ම එසමයන්හි පැවති උළුවහු ගැන සඳහන් වෙයි. සිඛවළඳ විනිසට අනුව "දොර පියන් කැරකෙන සේ වැසෙන දොරටු" දසවන සියවසේ දී පැවති බවත්, සද්ධර්මරතනාකරයට අනුව "කෙසියතුරෙන් වැසූ දොරටු" පැවති බවත් හෙළි වෙයි (සිංහල උළුවහු ( 5 පිට).

උළුවහුවක කොටස්‌

සාම්ප්‍රදායිකව ලංකාවේ භාවිතයට ගැනෙන බොහොමයක්‌ උළුවහු ව්‍යහාත්මක වශයෙන් ප්‍රධාන වශයෙන් කොටස්‌ තුනකින් සමන්විත වෙයි.

* උළුවහු කඳන් යුගලය

* හරස්‌කඩ (ඉංග්‍රීසියෙන් ඛසබඒක)

* පඩිකඳ

උළුවහුවක්‌ යොදනු ලබන්නේ පිවිසුම් දොරටුවක්‌ සඳහාය. ඒ අනුව බිත්තියේ සිරස්‌ පැති දෙකට සම්බන්ධ කොට පිහිටුවනු ලබන්නේ "උළුවහු කඳන්" යුගලයයි. උළුවහු කඳන් දෙක මත තිරස්‌ව පිහිටුවනු ලබන්නේ "හරස්‌කඩ" නම් කොටසයි. මෙම අංගය ම "බා පත් ලෑල්ල" සහ "උඩලිපත" යනුවෙන්ද ව්‍යවහාර වෙයි. "පඩිකඳ" යනුවෙන් හැඳින් වෙන්නේ හරස්‌කඩට සමාන්තරව බිම් මට්‌ටමට යොදනු ලබන තිරස්‌ පුවරුවයි. එමෙන්ම මෙය ඇතැම් තැනෙක "යටලිපත" නම් ද වෙයි.

උළුවහු වර්ගීකරණය

ලංකාවේ ඇති උළුවහු ඒවායේ හරස්‌කඩ හැඩය අනුව ප්‍රධාන වශයෙන් කොටස්‌ තුනකට වෙන් කළ හැකිය.

* හරස්‌කඩය සරළ උළුවහු

* හරස්‌කඩය චන්ද්‍රවංකය සහිත උළුවහු

* හරස්‌කඩය සූර්යවංකය සහිත උළුවහු

උළුවහු ආශ්‍රිත කලාත්මක අංග

උළුවහුවක විචිත්‍රකත්වය සැලකූ සිංහල කලාකරුවා එයට ම ආවේණික වන පරිදි සුවිශේෂී හැඩතල කිහිපයක්‌ම නිර්මාණය කර තිබේ. උළුවහු කණුවේ පහළ ම සිට සලකා බලන කල්හි පළමුව හමුවන්නේ අපූර්ව කැටයම් සහිත රාමුවක්‌ බඳු කොටසකි. මෙය "උළුවහු පනේලය" ලෙසින් හැඳින්වීමෙහි වරදක්‌ නැත. පැරණි, දැව සහ සෙල් ටැම් හි ද මෙවන් පනේල හඳුනාගත හැකිය. උළුවහුවලදී බොහෝ විට සිංහයන්, චාමරධාරින්, මුරකාවන් වැනි කැටයම් මේ පනේලය පූර්ණය කරනු වස්‌ යොදාගෙන ඇත.

ලංකාවේ මුල් යුගයෙන් හමුවන සියලූ උළුවහු කැටයම් සහිත වූවෝ නොවෙති. නමුත් දාහතර වැනි සියවසෙන් මෙපිට වකවානුවට අයත් සියලුම උළුවහු පාහේ කැටයමින් යුක්‌ත කොට ඇත. සෑම උළුවහුවක්‌ ම පාහේ විශිෂ්ට වූ කැටයමින් යුක්‌ත නොවූවත් සමස්‌තයක්‌ සේ බලන කල සෑම උළුවහුවක්‌ ම පාහේ විචිත්‍රවත්ව නිර්මාණය කරන්නට නිර්මාණකරුවන් උත්සුක වී ඇති බව වටහා ගත හැක. මේවායේ ඇති කැටයම් අතුරින් පොදුවේ පලාපෙති (අනුරාධපුර යුගයේ පටන් ම), අරිම්බු, කුන්දිරික්‌කන්, ගල් බිංදු වැනි මෝස්‌තර සීමා වෙන් කිරීමෙහිලා භාවිත කොට ඇති ආකාරය හඳුනාගත හැකිය. ඊට අමතරව ලියපත් මෝස්‌තර, මල් (බිනර වැනි...) මෝස්‌තර පොදුවේ බලා ගැනීමට හැකි වේ. ඇතැම් සුවිශේෂී උළුවහු නිර්මාණවල පමණක්‌ මානව රූප ආදිය පවා තිබේ. උඩ අළුදෙණිය විහාරයේ රඹෑව උළුවස්‌ස, බෙන්තර ගලපාත විහාරයේ උළුවස්‌ස, දෙවිනුවර දේවාලයේ උළුවස්‌ස වැනි නිර්මාණ මේ යටතේ වැදගත් වන දාහතර වැනි සියවසේ නිර්මාණ කාර්යයෝ වෙති. කිඹිසි මුහුණු, ලක්‍ෂ්මි රූ වැනි දෑ ද උළුවහු සඳහා දාහතර වැනි සියවසේ පටන් යොදාගෙන ඇත.

උළුවහු ආශ්‍රිත සංස්‌කෘතිකමය අංග

උළුවහු නිර්මාණය ලාංකීය ජන සමාජය තුළ උත්කෘෂ්ට අගයක්‌ ගත් සංස්‌කෘතිකමය අවස්‌ථාවක්‌ ද විය. උළුවහු නිර්මාණය ආරම්භ කරන අවස්‌ථාවේ පටන් එතුළින් සංස්‌කෘතිකමය පිළිවෙත් දක්‌නට නොලැබුනද උළුවහුවක්‌ ගොඩනැ`ගිල්ලකට සම්බන්ධ කරන අවස්‌ථාව සම්බන්ධයෙන් ගොඩනැගුනු අභිචාර විධි නම් රැසක්‌ ම හඳුනා ගත හැකි වේ. උළුවහුවක්‌ ගොඩනැ`ගිල්ලට සම්බන්ධ කොට ඒ තුළින් පළමු වරට ගමන් කිරීම මංගල අවස්‌ථාවක්‌ ලෙසින් අදටත් වාස්‌තු නිර්මාණ ශිල්පියෝ අදහති. මෙහිදී විශේෂ සුබ මුහුර්ති උපයෝගි කොටගෙන විශේෂ වත් පිළිවෙත් ආදිය සිදු කිරීමට ද වාස්‌තු නිර්මාණ ශිල්පීහු කටයුතු කරති. "සිංහල උළුවහු" කෘතිය තුළින් චාල්ස්‌ ගොඩකුඹුර මහතා, මෙම "උළුවහු පැනීම" නොහොත් "පළමු වර උළුවහුව මැදින් යාමේ" චාරිත්‍රය සම්බන්ධයෙන් මෙවන් හැඳින්වීමක්‌ කර තිබේ.

""...එබඳු අත්පොතක්‌ අනුව "උඩලිපතට අතගසා" "යටලිපතට පය ගසා" එක්‌ යකින්නක්‌ සිටින්නීය. එළිපත්ත පනින්නා මැයට ඉවත්වන්නට අණ කරන්නේ බුදුන්ගේ අනුහසිනි. එළිපත්ත පනින්නා මේ අවස්‌ථාවේදී තමා "විශ්වකර්ම දෙවි" ලෙස හඳුන්වා ගනී. මෙම වතාවත සම්බන්ධ කවිවලින් දොරේ එක්‌ එක්‌ කොටසේ ඇති වස්‌ දුරු කිරීම සඳහාත්, උළුවස්‌ස පනින්නාගේ වස්‌ දුරු කිරීම සඳහාත් කෙරෙනු ලබන ආයාචනා ය. උළුවහු පැනීමේ වතාවත පිළිබඳ අනෙකුත් අත්පොතක පෙනෙන අන්දමට දොර උළුවස්‌සේ උඩලිපතේ, බා පතේ, උළුවහු කරුවේ, අගුල් කණුවේ මැද හා එළිපත් පඩියේ පිළිවෙළින් "තකරි, මකරි, යමදූති, තිලෝක දේවි සහ පුෂ්ප සුන්දරී" යන යකින්නන් ඇත. එහි එන කවිවලින් මෑලාට පුද පිළිගෙන යන්ට කියති. තවද ගේ අටකොණ යකින්නෝ ය. ගෙ මැද ඉඳගෙන ඉන්නා "තනේරියන් ඉස බොවන් යකින්නය ය". මේ හැම දෙනට "උතුං මුනිඳුන්ගෙ අණ" ඇත්නම් යන්ට කියනු ලැබේ. මෙහිදී ද එළිපත්ත පනින්නා තමා විශ්වකර්ම දෙවියා යයි කියා ගනු ලැබෙයි."" (ගොඩකුඹුර ( 6 පිට).

එමෙන්ම සම්ප්‍රදායානුකූලව සුදු පැහැ රෙද්දකින් සියොළ`ග වසාගෙන ගෙතුළ සිට පිටතට උළුවහු පැන ඉනික්‌බිතිව කිරි ගසක්‌ සිදුරු කිරීමෙන් හෝ එළදෙනක්‌ දෙස බැලීමෙන් පසු උළුවහු පනින්නා තමාට එල්ල වුණු වස්‌ දොස්‌ සංසිඳුවා ගනී. මෙම චාරිත්‍රය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්‌ වන ස්‌වභාවයෙන් ද යුක්‌ත බව විශේෂයෙන් දැක්‌විය යුතුය.

ගම්පොළ යුගයේ දොර උළුවහු කලාව

ගම්පොළ යුගයේ දොර උළුවහු පිළිබඳව සලකා බලන කල ප්‍රමුඛ මාධ්‍යයක්‌ වශයෙන් කිසිවක්‌ හඳුනාගැනීමට අවකාශ නොමැත. ජලාශ්‍රිත යුගයන් හි මෙන් සෙල්මුවා උළුවහුවලට මෙම යුගයේදී එතරම් සුවිශේෂි අවධානයක්‌ යොමු කොට නොමැති අතර සෙල් මාධ්‍යය සේම දැව මාධ්‍යයද එක සේ උපයෝගී කරගෙන ඇති ආකාරය පහසුවෙන් අවබෝධ කර ගත හැකි වෙයි. නමුත් බොහෝ අවස්‌ථාවන් හි හින්දු ගෘහ නිර්මාණ ශිල්පයේ සම්භවය ලද තැන් හි පමණක්‌ සෙල්මුවා දොර උළුවහු සඳහා විශේෂ අවධානයක්‌ යොමු කොට ඇති ආකාරය පැහැදිලි ය. ඒ අතර නියම්ගම්පාය, ගඩලාදෙණිය, දෙවිනුවර උපුල්වන් දේවාලය හා ලංකාතිලකය වැනි ගම්පොළ යුගයට අයත් පුදබිම් හි ඇති සෙල්මුවා දොර උළුවහු වැදගත් සාCෂ්‍යයන් වෙයි. ගඩලාදෙණිය වැනි ස්‌ථානයක සමස්‌ත ස්‌වභාවය ගත් කල එකල පැවති හින්දු සම්භවයෙන් යුක්‌ත ගෘහ නිර්මාණ ශෛලිය අනුව මෙසේ සෙල්මුවා දොර උළුවහු නිර්මාණය ව ඇති බව පැහැදිලි වන කරුණකි.

මෙසේම ඇම්බැක්‌ක, වල්ලහගොඩ වැනි දේශීය ගෘහ නිර්මාණ සහිත ස්‌ථානයන් ආශ්‍රයෙන් දැවමුවා උළුවහු නිර්මාණ බහුල වශයෙන් හඳුනාගත හැකිය. එමෙන්ම සෙල් මූලාශ්‍ර දුලබ බව සහ ඒ ආශ්‍රිත නිර්මාණකරණයෙහි පවතින දුෂ්කර බව ද දාරුමය නිර්මාණයන් වෙත කලාකරුවාගේ සිත යැමට බෙහෙවින් ඉවහල් වී ඇති බවට උපකල්පනය කළ හැකි වෙයි.

මෙම යුගයේදී නිර්මාණය වූ උළුවහු, හැඩය අනුව ප්‍රධාන වශයෙන් වර්ග තුනක්‌ යටතේ වෙන් කළ හැකි වෙයි.

* චතුරස්‍රාකාර ස්‌වභාවයෙන් යුක්‌ත උළුවහු

* චන්ද්‍රවංකයෙන් යුක්‌ත උළුවහු

* සූර්යවංකයෙන් යුක්‌ත උළුවහු

සාමාන්‍යයෙන් මුල් යුගයන්හි දී උළුවහු නිර්මාණය වූයේ සාම්ප්‍රදායිකව ම චතුරස්‍රාකාර හැඩයෙන් යුක්‌තව ය. ගම්පොළ යුගයේදී ද විශේෂයෙන් ගඩලාදෙණිය, නියම්ගම්පාය, අස්‌ගිරි ගෙඩිගේ, දෙවිනුවර උපුල්වන් දේවාලය, බෙන්තර ගලපාත විහාරය යනාදී තැන්වලින් චතුරස්‍රාකාර හැඩයෙන් යුක්‌ත උළුවහු හඳුනාගත හැකිය. යට කී උළුවහු වල ආකෘතිකමය රටාව සේ ම කැටයම්වල ද එකිනෙකට සමාන ලක්‍ෂණ හඳුනාගැනීමට පුළුවන. ගම්පොළ යුගයේ දී චතුරස්‍රාකාර උළුවහු නිර්මාණය වීම සඳහා තත් යුගයේ පැවති හින්දු සංස්‌කෘතියේ ආභාෂය නොඅඩුව ලද බව මේ අනුව පැහැදිලි කර ගැනීමට පුළුවන.

එමෙන්ම සූර්යවංකයෙන් හා චන්ද්‍රවංකයෙන් යුක්‌ත උළුවහු පැහැදිලිව ම ගම්පොළ යුගයේ දී ආරම්භ වූ උළුවහු මෝස්‌තරයන් ම වන බව පෙනේ. චන්ද්‍රවංකයෙන් හා සූර්යවංකයෙන් යුක්‌ත වූ උළුවහු බොහෝ විට දැකගත හැකි වන්නේ නාගරික පරිසරයෙන් දුරස්‌ථ වූ ස්‌ථානයන්වල පමණි. එහෙත් දුර්ලභ ව ඇතැම් නාගරික තත්වයේ පැවති විහාර හා දේවාලවල ද මේ මෝස්‌තර සහිත උළුවහු දැකගත හැකි වෙයි. මෙම හැඩ ද්වයෙන් යුක්‌ත කොට උළුවහු නිර්මාණය කිරීම ඉන්දියාවෙන් සම්ප්‍රේෂණය වූ හින්දු කලාවේ අනුකරණයක්‌ නොවේ. එය පැහැදිලිව ම දේශීය සංකල්ප මත පදනම් වූ හෙල කලාකරුවාගේ ම නිර්මාණයකි. හුදු ආරුක්‌කුවක්‌ හැරුණු විට මෙවන් හැඩ සහිත උළුවහු ඉන්දියාවේ දී දැකගැනීමට නුපුළුවන.

උළුවහුවක්‌ චන්ද්‍රවංකයෙන් හෝ සූර්යවංකයෙන් යුක්‌තව නිර්මාණය කිරීමට බලපෑ හේතුව කුමක්‌දැයි යන්න අවිනිශ්චිතය. නමුත් එයට හේතුවක්‌ තිබිය යුතුය. බොහෝ විට මෙම නව මෝස්‌තරය හරහා ස්‌ථානීය අභිමානයට විචිත්‍රත්වයක්‌ එක්‌ කළා වන්නට ද පිළිවන. කෙසේ වෙතත් පිළිමගෙය තුළ පැවති බුද්ධ ප්‍රතිමාව මුළුමනින්ම පිටතට නිරාවරණය කිරීම මෙහි පරමාර්ථය වූවා වන්නට ද පිළිවන. විශේෂයෙන් ම බුද්ධ ප්‍රතිමාවේ සමස්‌ත හැඩයට සමාන වන සේ උළුවහුවේ උඩලිපත වක්‌ කිරීමක්‌ සිදුකරන ලද බව පෙනෙන්නට ඇත. ලංකාතිලක විහාරයේ ප්‍රධාන ද්වාරයේ ඇති මකර තොරණ සහ ගර්භගෘහයේ ද්වාරයද ආරුක්‌කුවක්‌ ලෙසින්ම නිර්මාණය කර තිබීම මෙහිදී ඉස්‌මතුව පෙනෙන සාධකයකි. පිළිමගෙය තුළට වැඩිපුර ආලෝකය ගලා යාමක්‌ද මෙම සුවිශේෂී හැඩය නිසා සිදුව ඇත. සූර්යවංකයේ උඩලිපතේ ආරුක්‌කුව මැදින් පහළට උල් ව තිබෙන්නේ කිනම් හේතුවක්‌ මත ද යන්න අවිනිශ්චිත ය. නමුත් ඒ හරහා සම්පූර්ණ ආරුක්‌කුවක්‌ වන චන්ද්‍රවංකයට වඩා වැඩි අලංකාරයක්‌ උළුවහුව වෙත ආරෝපණය වී ඇති බව නම් අත්‍යයෙන්ම පිළිගත යුතු වෙයි. ලංකාතිලක විහාරයේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව වටා ඇති මකර තොරණද මේ සූර්යවංක රටාවට ම සමාන වන පරිදි නිර්මාණය කර තිබෙයි. මේ අනුව බලන කල පැහැදිලි වන එක්‌ කරුණක්‌ නම් චන්ද්‍රවංකය හා සූර්යවංකය තුළින් ශිල්පියා අරමුණු කරන ලද්දේ ද්වාරයන් වෙතද මකර තොරණේ ස්‌වභාවය එක්‌ කිරීම වන බවය. ඒ අනුව මකර තොරණෙන් බලාපොරොත්තු වූ ආරක්‍ෂාව හා අලංකාරය ද්වාරයෙන් ද බලාපොරොත්තු වූ බව පෙනෙන්නට ඇත. දෙවුන්දර, ගඩලාදෙණිය, අස්‌ගිරි ගෙඩිගේ වැනි තැන්හි ඇති උළුවහුවල මුදුණේ කිඹිසි මුහුණ යොදා තිබීමෙන්ද තත් ප්‍රස්‌තුතය සනාථ වන බව පෙනෙයි.

ගම්පොළ යුගයට අයත් උළුවහු හමුවන පැරණිතම ගොඩනැ`ගිල්ල වන්නේ උඩුනුවර ගඩලාදෙණිය විහාරයයි. මෙහි ඇති ශිලාලිපියට අනුව මෙම ස්‌ථානයේ ඉදිකිරීම් කටයුතුවල නිරත ව ඇත්තේ ඉන්දියාවෙන් පැමිණි "ගණේෂ්වර" නම් ගුරුකුලයකට අයත් වූවන් පිරිසක්‌ විසිනි. එහි ප්‍රධාන වාස්‌තු නිර්මාණ ශිල්පියා, "වස්‌තු ශාස්‌ත්‍රී ප්‍රතිමා ශාස්‌ත්‍රී ගණාධිපති ගණේෂ්වරාචාරි" නම් අයෙකු බව ලංකාතිලකයේ ශිලාලිපියෙන් හෙළි වෙයි. ඒ අනුව ගඩලාදෙණි විහාරයේ ඉදිකිරීම් කටයුතු සියල්ල ඉන්දීය නිර්මාණ ශිල්පීන්ගේ කටයුතු බවට සාධාරණ නිගමනයකට ඒමට අපට පුළුවන. එහෙයින් මෙහි ඇති උළුවහු පවා හින්දු ශෛලියෙන් යුක්‌ත බව විශ්වාස කිරීමේ ගැටලූවක්‌ නොමැත.

එම ශෛලියටම අනුගත වූ උළුවහු නිර්මාණ හඳුනාගත හැකි ස්‌ථාන කිහිපයක්‌ ම වෙයි. නියම්ගම්පාය, අස්‌ගිරි ගෙඩිගේ, දෙවිනුවර උපුල්වන් දේවාලය, බෙන්තර ගලපාත විහාරය, අලවතුර විහාරය, හොරණ සෙල්මුවා උළුවස්‌ස සහ උඩ අළුදෙණියේ රඹෑව නම් දාරුමය උළුවස්‌ස නම් ඒවා ය. මෙම ශෛලියට අනුගත වූ එකම දාරුමය උළුවස්‌ස නම් යට කී රඹෑව යි. මේවායේ දක්‌නට ඇති රූප හා කැටයම් එකිනෙකට සමානකම් ප්‍රකට කරවයි. ඇතැම් ඒවා අලවතුර, ගඩලාදෙණිය හා නියම්ගම්පාය වැනි ස්‌ථානයන්හි ඇති පාදම් කැටයම් වලට ද අනුරූප වෙයි. මේ සියල්ල හින්දු ප්‍රභවයෙන් නිෂ්පාදනය වූ කලාවක ඵල සේ ගැනීම වරදක්‌ නොවේ. ඉහත දක්‌වන ලද මේ ශෛලියට අයත් ඇතැම් උළුවහු ගඩලාදෙණි විහාර කර්මාන්තය නිම වීමෙන් පසු සැලකිය යුතු කාලයකට පසුව නිර්මාණය වී තිබීම නිසා ලංකාව තුළ එකී හින්දු කලාත්මක ලක්‍ෂණ මුල්බැස ගත් ආකාරය ද මනාව පසක්‌ කර ගැනීමට පිළිවන.

එමෙන්ම දාරුමය උළුවහු පිළිබඳව විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ ඒවා යට කී හින්දු ලක්‍ෂණයන්ගෙන් බොහෝ දුරට බැහැර වූ ඒවා වන බවය. දැවමුවා නිර්මාණ හැරුණු විට දේශීය නිර්මාණ ශිල්පියා විසින් නිමවන ලද සෙල්මුවා උළුවහු ද හඳුනාගත හැකි වේ. සේන්දෙණිය විහාරයේ සහ වේගිරියේ ඇති උළුවහු ඒ අතර වෙයි. මේවායේ කැටයම් ද ඉන්දීය ආභාෂයෙන් නිමවූ ඒවා මෙන් ශෛලිගත වූ ඒවා නොවෙයි. නමුත් දේශීය ශිල්පියා විසින් නිමවන ලද දාරුමය උළුවහු නිර්මාණ කැටයමින් පරිපූර්ණය.

කලාත්මක අංග

ගම්පොළ යුගයේ දී සිංහල උළුවහු විෂයෙහි සුවිශේෂී වූ අංග කිහිපයක්‌ම එකතු වූ බව පෙනෙන්නට තිබේ. ඒ අතර ආසනකඩය, ගැටලියපත, කැටයම් සහිත පනේල ප්‍රමුඛ වෙයි. ඊට පූර්ව යුගයන්හි පැවතියා වූ උළුවහුවල දක්‌නට නොලැබුණු මෙම කලාත්මක අංග ගම්පොළ යුගයේදී ඒ සඳහා එක්‌ වූයේ කිනම් පදනමකින්ද යන්න විග්‍රහ කළ යුතුය.

ගම්පොළ යුගයට අයත් උළුවහු තුළින් විවිධාකාරයේ සමාජ තොරතුරු රැසක්‌ හෙළිකර ගත හැකි වෙයි. ඒවායේ නිර්මාණය හෝ ශෛලීන් හෝ සම්ප්‍රදායන් හැරුණු විට තත්කාලීන සමාජය පිළිබඳවද තතු රැසක්‌ එමගින් හෙළි කර ගැනීමට අවකාශ ඇත. මෙම මාතෘකාව සම්බන්ධයෙන් සාහිත්යික, පුරාවිද්‍යාත්මක හා කලාත්මක මූලාශ්‍ර මත පදනම් වූ ගැඹුරු කතිකාවතක්‌ ගොඩනැගීමට ද අපි කටයුතු කරන්නෙමු. ඒ සඳහා ගම්පොළ යුගයේ උළුවහු තුළින් ලද හැකි පරිචය විමසීම මෙම පරිච්රේදයේ අරමුණයි. මේ යටතේ පහත පරිදි වර්ග කිරීමකට යාම වඩාත් යෝග්‍ය වේ.

* ආගමික හෝ විශ්වාස සම්බන්ධ සමාජ ආකල්ප

* ජන දිවිය හා සම්බන්ධ සිද්ධින් හා වස්‌තූන්

මේ බෙදීමට අනුව එකිනෙකට අදාල කර ගනිමින් සංක්‍ෂිප්ත විචාරයකට යාම වඩාත් උචිතය.


ආගමික හෝ විශ්වාස සම්බන්ධ සමාජ ආකල්ප

ගම්පොළ යුගයේ ඉතිහාසය ගවේෂණය කිරීමේදී මූලාශ්‍ර සපයා ගැනීමේ දුෂ්කරතාවය නිසා බොහෝ පර්යේෂකයෝ ගම්පොළ යුගයේ සමාජ ජීවිතය සම්බන්ධයෙන් විමසීමට පසුබට වෙති. නමුත් පවතින්නා වූ මූලාශ්‍ර අනුසාරයෙන් එකී කරුණ විශ්ලේෂණය කිරීමට ද අපි අපේක්‍ෂා කරමු. ගම්පොළ යුගයේ පැවති ආගම්, ආගමික මතවාද විමසුමේදී උළුවහු වෙතින් ප්‍රබල පිටුබලයක්‌ ලැබෙන බව අමතක කළ යුතු නොවේ.

ගම්පොළ යුගයේ පැවති ආගමික චින්තනය සම්බන්ධයෙන් උළුවහු තුළින් ප්‍රකට වන ඉස්‌මතු වන ප්‍රබල කරුණක්‌ නම් "ලක්‍ෂමි" ඇදහිල්ල යි. ඇම්බැක්‌කේ දැඩිමුණ්‌ඩ දේවාලය, වල්ලහගොඩ දේවාලය, උඩ අළුදෙණිය විහාරය වැනි තැන්වල ඇති උළුවහු වෙතින් මේ බව පසක්‌ වෙයි. ගජලක්‍ෂමි සංකල්පය පොළොන්නරු යුගයේ පටන්ම දේශීය නිර්මාණ කෙරෙහි බලපා තිබේ. පොළොන්නරුවේ නිශ්ශංකමල්ලගේ ගල්පොත ශිලාලිපියේ ද එක්‌ පසෙක ගජලක්‍ෂමි කැටයමක්‌ දැකගත හැකිය. ඇතුන් දෙදෙනෙක්‌ මැදට වී අසුන්ගත් ස්‌වභාවයෙන් යුක්‌ත ලක්‍ෂමි දෙව`ගනගේ රූපය ගම්පොළ යුගයේ දොර උළුවහුවල හරස්‌කඩට එකතු වී ඇත්තේ පැහැදිලිව ම සශ්‍රීකත්වය උදාකරන සිරිකත නොහොත් ශ්‍රී දේවී යන අර්ථයෙන් යුක්‌තව ය. ගම්පොළ යුගයේදී ඇතුන් දෙදෙනකු මැද හිඳගත් ලක්‍ෂමි රුවක්‌ ඇති එක ම උළුවහුව වූ කලි උඩ අළුදෙණිය විහාරයේ උළුවස්‌ස පමණි. අනිකුත් තැන් හි ඇති ලක්‍ෂමි රුව දෙපස සිටින්නේ පරිවාර කාන්තාවන් දෙදෙනෙකු බැගින් පමණි. කෙසේ වෙතත් මේ හරහා සමෘද්ධිය සහ ශ්‍රියාව අපේක්‍ෂා කරන ලද බව පිළිගත හැකි කරුණක්‌ වශයෙන් ඉස්‌මතු වෙයි.

එසේම දෙවිනුවර උපුල්වන් දේවාලයේ උළුවස්‌ස සඳහා වාමන රූප යොදාගෙන තිබීම හරහා ආරක්‍ෂාව පිළිබඳව පැවති සංකල්පයන් ගම්පොළ යුගයේදී ද ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් වටහා ගත හැකි වේ. මුල් යුගයන් හි පටන් ම ස්‌ථානීය ආරක්‍ෂාව පවරා දී තිබුණේ "සංඛ" හා "පද්ම" නම් වාමනයන් දෙදෙනාට බව අනුරාධපුර යුගයේ පටන් වාමන රූ විමර්ශනයෙන් හෙළි කර ගත හැකි කරුණකි. ගම්පොළ යුගයේදී ද ඒ සංකල්පය ප්‍රවේණිගතව හෝ පැවති බව මේ අනුව හෙළි වෙයි.

මෙසේම විවිධ අවස්‌ථාවන් හි දේව පූජා සඳහා උපයෝගී කර ගන්නට ඇතැයි උපකල්පනය කළ හැකි නර්තන විලාශයන් සහ වාද්‍ය භාණ්‌ඩ පිළිබඳවත් දෙවිනුවර උළුවස්‌ස, ගලපාත විහාරයේ උළුවස්‌ස, උඩ අළුදෙණියේ උළුවස්‌ස යනාදියේ ඇති පුද්ගල රූප ඇසුරින් ප්‍රකට වේ. ගඩලාදෙණිය, නියම්ගම්පාය, අලවතුර විහාරයන්හි ඇති බොරදම් සහිත පාදම්වල ඇති රූකම්වලද ඒවාටම සමාන අවස්‌ථා ඇතුළත්ව ඇති හෙයින් එකී වාද්‍ය භාණ්‌ඩ හා නර්තන ඉරියව් ආදිය පූජා අවස්‌ථාවන් සඳහා උපයෝගී කරගන්නට ඇති බව විශ්වාස කළ හැකිය.

එසේම කිඹිසි මුහුණ නම් නිර්මාණය සහිතව මකර තොරණ නම් නිර්මාණාත්මක අංගය බිහි ව ඇත්තේ ද මේ යුගයේදීම ය. ආරක්‍ෂාව අරමුණු කර ගනිමින් නිරූඪ සංකල්පයක්‌ වන මකර රුව අනුසාරයෙන් මේ කිඹිසි මුහුණ නිර්මාණය කොටගෙන ඇත. මෙය පැහැදිලිව ම ගම්පොළ යුගයේ දී එල්ල වූ හින්දු ආභාෂයෙන් නිර්මාණය වුණු දෙයක්‌ ම වෙයි. මකර තොරණට පෙර මෙම රුව එකතු ව ඇත්තේ උළුවහු සඳහා බව අපගේ කල්පනාව යි. ගඩලාදෙණිය, අස්‌ගිරි ගෙඩිගේ, උපුල්වන් දේවාලය, හොරණ විහාරය, අලවතුර විහාරය යනාදී තැන්හි කිඹිසි මුහුණ යොදන ලද උළුවහු නිර්මාණ හඳුනාගත හැකි වෙයි.

තත් යුගයේදී පැවති ජන දිවිය හා සම්බන්ධ අවස්‌ථාවන් නිරූපණය කෙරෙන නිර්මාණ ද ගම්පොළ යුගයේ දොර උළුවහු තුළින් ගම්‍ය වෙයි. විශේෂයෙන්ම ඇඳුම් පැළඳුම්, භාවිත අවි ආයුධ, විවිධ උපකරණ වැනි දෑ පිළිබඳව මෙම උළුවහු කදිම මූලාශ්‍රයකි. උඩ අළුදෙණිය විහාරයේ රඹෑව උළුවස්‌සේ ඇති මානව රූප මගින් එකල දිවි ගෙවූ ප්‍රභූ ප්‍රජාව හා ඔවුන්ගේ බිසෝවරුන් පිළිබඳව පැහැදිලි නිගමනයකට ඒමට පුළුවන. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් සහ වෙනත් විලාසිතා ආදිය සම්බන්ධයෙන් මෙයට වඩා ගැලපෙන නිදර්ශනයක්‌ අන් තැනෙකින් මුණ ගැසෙන්නේ ද නැත. විශේෂයෙන්ම සංදේශ කාව්‍යයන් (තිසර හා මයුර) තුළින්ද මේ විලාසිතාවන් පිළිබඳව තොරතුරු මුණගැසේ. මෙවන් දෑ පිළිබඳව මතු ලිපියෙකින් කතිකා කිරීමට අපි අදහස්‌ කරමු.

එසේම තත් යුගයේ පැවති වාද්‍ය භාණ්‌ඩ පිළිබඳව දෙවිනුවර උළුවස්‌ස, ගලපාත විහාරීය උළුවස්‌ස හා උඩ අළුදෙණියේ උළුවස්‌ස යන නිදර්ශක තුළින් තොරතුරු හඳුනාගත හැකිය. එවක පැවති දේශීය සංගීත භාණ්‌ඩ හා විදේශීය (හින්දු) සංගීත භාණ්‌ඩ වෙන් වෙන් ව හඳුනාගැනීමට උළුවහු ප්‍රබල සාධකයකි. තිසර සංදේශයේ එන ඇතැම් වාද්‍ය භාණ්‌ඩ ද මේවා අතර දකින්නට ඇත. ඒවායින් ඇතැම්වා අද ශේෂ වී නොමැති අතර, ඇතැම්වා අදටත් එලෙසින්ම පවතින අයුරු පර්යේෂකයකුට පහසුවෙන් දැකගැනීමට පුළුවන. මෙසේ බලන කල උළුවහුවල ඇති කැටයම් ආදිය තුළින් සමකාලීන සමාජය වඩාත් සියුම්ව කියවීමට ඇති හැකියාව පැහැදිලි වෙයි. මේ කැටයම්වල එන තතු සමකාලීන සාහිත්යික මූලාශ්‍ර තුළින් වඩාත් හොඳින් පැහැදිලි වන විට ඉතිහාසයෙන් සැ`ගව ගිය ගම්පොළ රාජ්‍යයේ අභිමානය හා අනන්‍යතාවය පහසුවෙන් හඳුනාගැනීමේ අවකාශයද නිතැතින්ම උදා වෙයි. ගම්පොළ යුගයට අයත් උළුවහු ඇසුරින් ගවේෂණය කළ හැකි ඉතිහාසයේ ගැඹුර ඉතා වැඩිය. මේවායේ ඇති සියලූ කරුණු හා තොරතුරු ඉතා සියුම්ව විමසා බැලෙන්නා වූ පරිච්ඡේදයක්‌ නුදුරු දිනයෙක බදාදා අතිරේකයෙහි පළ කිරීමට අපි අදහස්‌ කරමු.

සියලු සාධක පිළිබඳව සමස්‌තයක්‌ වශයෙන් සලකා බලන කල "දාහතර වැනි සියවසේ නිර්මිත උළුවහු" යනු සැහැල්ලු කොට සැලකීමට නුපුළුවන් විෂයක්‌ බව පර්යේෂකයන් විසින් අවබෝධ කරගත යුතුව පවතියි.

 

Make a Free Website with Yola.