සිලප්පදිකාරම්’ යන්නෙහි සිංහල අරුත සලඹේ පුවත ‘ යනුයි. සිල්ප්පදි කාරම් ද්රවිඩ කාව්යයකි. එය රචනා කොට ඇත්තේ ඉලන්කෝ අඩිගල් නම් ජෛන සාධු වරයෙකි. මොහු කේරලයේ සෙරලාදන් රජුගේ කනිටු පුත්රයා වූයේ ය. එහෙත් ප්රකට ඉතිහාසඥයකු වන නීල කණ්ඨ ශාස්තිගේ මතය අනුව මේ කාව්යය රචනා කොට ඇත්තේ කිතුවසින් දෙවන සියවස අග භාගයේ දී ය. මෙයට මද කලකට පසුව මණි මේඛලා’ නම් කෘතිය ද ලියා තිබේ. මණිමේඛලා කාව්යය ද්රවිඩ සංගම් සාහිත්ය වංශයේ වැදගත් කෘතියකි. එහි ක්රිස්තු පූර්ව ශත වර්ෂවල ලංකාවේ තොරතුරු ද දක්නට ලැබේ.
ක්රි.ව. යට වසර 1500 කට පමණ පූර්වයෙහි ආර්යයන් ඉන්දියාවේ උත්තර ප්රදේශය අයිති කර ගෙන ජනාවාස පිහිටුවන විට, ද්රවිඩ ජනයා ක්රම ක්රමයෙන් වින්ධ්යා කඳු වැටියෙන් දක්ෂිණ දේශයට පැමිණ තම රාජ්යයන් හා සංස්කෘතීන් නිර්මාණය කරගන්නට යෙදිණ. ඔවුන්ට ප්රධාන රාජ්යයන් ත්රයක් විය. එනම් සොළී රට, පඩි රට හා චේර (කේරළ) රට ය. මේවාට දෙමළ රටවල් තුන යන අරුත දෙන ‘මුත්තවිල්’ යන්න භාවිතා කෙරේ. මේ රාජ්යයන් අතරින් වඩාත් සමෘද්ධිමත් වූයේ පාණ්ඩ්යය රාජ්යයයි.
මේ රාජ්යයන් ගැන සංස්කෘත කාව්යයන් හි ද ද්රවිඩ සංගම් සාහිත්යයේ ද සවිස්තරව සඳහන් වී තිබේ. කිතු වසින් පෙර හයවන සියවසේ දී ලංකාවට පැමිණි විජය ද පාණ්ඩ්ය රජ කුමරෙකි.
විජය කුවේණිය අත්හැර පාණ්ඩ්ය දේශයෙන් කුමරියක ගෙන්වා ආර්ය සම්ප්රදායානුකූලව රාජාභිෂේකය පැවැත් වූවේ ය. එමතු ද නොවැ විජය කැටුව පැමිණි 700 ක් දෙනාට ද පාණ්ඩ්යය කුමාරිකාවන් 700 ක් ද කැඳවා සරණපාවා දුන්නේ ය. මහා වංශයට අනුව විජය වාර්ෂික ව මෙරටින් දෙලක්ෂයක් වටිනා මුතු පඩි රට මයිළනුවන්ට තෑගි ලෙස යැවූ බව ද සඳහන් යැ.
දකුණු ඉන්දියාවේ සංගම් යුග තුනක් පැවතිණ. පළමු සංගම් යුගය වසර 3900 කට ඉහත යුගයයි. මේ යුගය වසර 4400 තරම් දිගු කලකි. මේ කාලයේ දී කවීන් 4449 සිටි බව කියනු ලැබේ. ඊළඟට ඇරඹි, දෙවෙනි සංගම් යුගය අවුරුදු 3700 ක් පැවත ඇත. එකල කවීන් 3708 ක් සිටි බව කියනු ලැබේ. අන්තිමට තෙවෙනි සංගම් යුගය ඇරඹි අවුරුදු 1800 ක් පැවති අතර එහි කවීන් 449 ක් සිටි බව ප්රකට කරුණකි.
කෙසේ වෙතත් උතුරු ඉන්දියානු ආර්යයන් ගේ සංස්කෘතික බලපෑම දකුණු ඉන්දියානු ද්රවිඩ, රාජ්යයන් තුළට ද කාන්දුවී තිබේ. උතුරේ වෛදික ඇදහීම් දකුණට විකාශය වී ඇත. උතුරේ බ්රාහ්මණයන් දකුණට පැමිණි හින්දු ආගමික කටයුතුවල යෙදුණ අතර උතුරේ දෙවිවරුන් ද දකුණට සංක්රමණය වී තිබේ. පත්තිනි ඇදහීම ද මේ ආකාරයට උතුරු ඉන්දියාවෙන් දකුණු ඉන්දියාවේ ද්රවිඩ ජනයා අතරට සංක්රමණය වී ඇතැයි සැලකිය හැකිය. ‘සිල්ප්පදිකාරම් කාව්යය තෙවෙනි සංගම් යුගයට අයත් වන අතර එහි එන කථා නායිකාව ‘කණ්ණගී’ පති දහම රැකි උසස් කාන්තාවක වූවා ය. ඕ පසු කලක පත්තිනි දේවිය නමින් දේවත්වයට ඔසවා තබා ඇත. මේ කාව්යයේ කථා නායකයා කෝවලාණය.
කිතු වසින් දෙවන සියවස පමණ වෙන විට චෝල (සොළී) රාජ්ය ඉතා ප්රබල වී ඇත. එහි රජ කරිකාලන් විය. කරිකාලන්ගේ කකුලක් පිලිස්සී තිබුණ ද ඔහු ගංගා භූමිවල කෘෂිකර්මය වැඩි දියුණු කොට රට නැගුමට බෙහෙවින් උනන්දුවක් දැක්වූයේ ය. කරිකාලන් ලංකාව ආක්රමණය කොට සිංහලයින් 12000 ක් කාවේරි නදී බඩ කෘෂි සංවර්ධන වැඩ සඳහා හිර භාරයට ගෙන ගිය බව මෙරට මුලාශ්රවල සඳහන් ය. මේ කාලයේ දී ලංකාව රජ කොට ඇත්තේ වංක නාසික තිස්ස ය. (ක්රි.ව. 109 - 112) මොහුගේ මරණයෙන් පසු මෙරට රජ වූයේ ගජබාය. (ක්රි.ව. 112 - 134) ගජබාහු රජ දකුණු ඉන්දියාවට ගොස් චෝල රජුගේ ද සහය ඇතුව මෙරටින් ගෙන ගිය සිංහල සෙනඟ 12000 ද චෝලයන් 12000 ක් ද රැගෙන ආපසු පැමිණි බව ඓතිහාසික සිද්ධියකි. ආපසු එනවිට චෝලයනට ඇදහීම සඳහා පත්තිනි දේවියගේ සලඹ ද ගෙනා බව සඳහන් ව තිබේ.
පත්තිනි ඇදහීම කරිකාලන් රජ සමයේ ද දකුණු ඉන්දියාවේ පැවතුණ බව මෙයින් හෙළි වන්නකි. ඇත්ත වශයෙන් ම පත්තිනි උපත සම්බන්ධ කෝවලන් හා කණ්ණගී ගේ මරණය කරිකාලන්ට පෙර පාණ්ඩ්යය රාජ්යයේ සිදුවී ඇත්තේ ය. නීල කණ්ඨ ශාස්ත්රී මහතාගේ නිගමනය වන්නේ කි.ව. යට පළමු වන සියවස අග හරියේදී පඩි රට රජව සිටි නෙඩුඤ්පේලියන් රජ කල පත්තිනි පුවත ඇති වෙන්නට පිළිවන් බවයි. එහෙත් පත්තිනි ඇදහීම ආරම්භ කරන්නට ඇත්තේ සෙන්ගුප්තවාන් චේර රජු ය. ගජබාහු රජතුමා ද, සෙන් ගුපත්වාන් රජතුමා විසින් ගොඩනඟන ලදී. දේවාලයක් පත්තිනි දේවියට කැපකිරීමේ උත්සවයට සහභාගි වී ඇත. මේ චේර රජුත් අපේ ගජබා රජුත් අතර මිත්රත්වයට පත්තිනි ඇදහීම ශක්තිමත් පුරුකක් වී ඇත.
ගජබාහු රජතුමා ඉන්දියාවට ගිය පුවත සඳහන් වන්නේ රාජාවලිය, පූජාවලිය, පැරකුම්බා සිරිත වැනි කෘතිවල මිස මහාවංශයේ නොවේ. (සමරසේකර 1995)
ගජබා රජු සෙනග ද, පත්තිනි සලඹ ද විතරක් නොව පාත්රා ධාතුව ද චේර රජුගෙන් ලබාගත් බව සඳහන් යැ. මෙරට පත්තිනි ඇදහීමේ පුරෝගාමියා ගජබාහු රජු බව සඳහන් කළ හැකි ය.
එතුමා ලම්භකරණ වංශිකයෙකි. මෙකල ලම්භකරණ හා මෞර්ය වංශිකයන් අතර රාජ්යත්වය පිළිබඳ ගැටුම් අවසන් කිරීමටත් රටේ සෞභාග්යය උදා කිරීමටත් පත්තිනි දේවාලයක් ඉදිකොට, ඇසළ මස පුර පෝදා පත්තිනි දේවියට පුද පෙරහර පැවැත්තූ බව ඓතිහාසික සිද්ධියකි. තියඹරාහේන දේවාල සන්නයේ ද කෝකිල සන්දේශයේ ද ගජබා නිරිඳු කරවූ පත්තිනි දෙවොල ගැන සඳහන් කරයි.
පසු කලෙක පත්තිනි ඇදහීම සඳහා කැපවූ ඇසළ පෙරහර මහනුවර දළදා පෙරහර බවට පත් ව තිබේ. ‘මුලදී විෂ්ණු, නාථ, කතරගම හා පත්තිනි වැනි හින්දු දෙවියන් පිළිබඳ ව පූජාවක් වශයෙන් පැවති මේ උත්සවයට ගැමි ඇදහිලි වලින් කීපයක් ද අඩංගු වී තිබේ. දන්ත ධාතුන් වහන්සේ ද පෙරහැරෙන් වැඩමවන මෙන් 1775 දී කීර්ති ශ්රී රාජසිංහ රජ විසින් නියෝග දීමෙන් පසු එම චාරිත්ර සමූහය සංකලනය වී දළදා මාලිගාවේ මහා බෞද්ධ මංගල්යයක් ලෙස සකස් විණි.
ආශ්රිත ග්රන්ථ
1. සරච්චන්ද්ර එදිරිවීර (1968 සිංහල ගැමි නාටකය, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.
2. සමරසේකර ජේ.කේ. සුමනපාල (1995) තොවිල්, එම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.
3. සුරවීර ඒ.වී. (1976) රාජාවලිය, අධ්යාපන ප්රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ 15.