හෙළයන් මෝඩයන් කළ පෘතුග්‍රීසි ලේඛකයෝ

නවරත්න අත්තනායක

1505 නොවැම්බර් මාසයේ පෘතුග්‍රීසින් අපේ රටට සම්ප්‍රාප්ත වූ බව ඉතිහාසයෙහි සඳහන් වේ. ඉතා අහඹු ලෙස පෘතුග්‍රීසින්ට උදාවූ මේ වාසනාව අපිට ඉදිරි වසර 443 ක්‌ අපරදිග ජාතීන්ට යටත් වීමට සිදුවේ යෑයි එදා කිසිවකු නොසිතන්නට ඇත. 1505 දී ගාල්ලට පැමිණි පෘතුග්‍රීසින් 1517 දී මුහුදු මාර්ගයෙන් කොළඹට පැමිණි බව ලේඛනවල සටහන් වී ඇතත්, පසුගිය සියවසේ මුල් අවධියේ සංස්‌කරණය කරන්නට යෙදුණු ඉතිහාස ග්‍රන්ථ කීපයකම 1505 දී පෘතුග්‍රීසින් කොළඹට ගොඩ බට බව සඳහන් වේ. 1962 පමණ වන තෙක්‌ පාසල්වල ජ්‍යෙෂ්ඨ විභාගය සඳහා නිර්දේශ වී තිබුණේ ද මෙම ඉතිහාස ග්‍රන්ථ බව සැලකිය යුතුය. 1960 ජ්‍යෙෂ්ඨ විභාගය සඳහා අප විසින් පරිශීලනය කරන ලද්දේ ද එවැනි ඉතිහාස ග්‍රන්ථයකි. ලංකාව හා ලෝක ඉතිහාසය යනුවෙන් නම් කර තිබූ එම නිර්දේශිත ග්‍රන්ථයේ ලංකා ඉතිහාසය 1505 සිට 1815 දක්‌වා යන සිංහල රාජාවලියේ අවසාන කොටසට සීමා විය.

ශ්‍රී ලංකාවේ පෘතුග්‍රීසි යුගය (1505 - 1658) ලේඛන ගතකළ "රොබෙයිරෝ හා ක්‌වේරෝස්‌" යන ඉතිහාසඥයන් අතින් සාවද්‍ය තොරතුරු ඔවුන්ගේ ලේඛනවලට ඇතුළත් වී ඇත. මේවා වුවමනාවෙන්ම ඉතිහාසයට එක්‌ කළාද? නැතිනම් නොදැනුවත්කමින් සිදු වූවා දැයි ස්‌ථිර ලෙසම කිව නොහැකිය. එහෙත් පසුකාලීනව ඉතිහාසය නැවත සංස්‌කරණය කළ කතුවරුන්ද නිසි අධ්‍යයනයකින් තොරව එම වැරැදි මූලාශ්‍ර ඒ ආකාරයෙන්ම ග්‍රන්ථාරූඪ කිරීමට පියවර ගැනීම නම් බරපතළ වරදකි.

ඉතිහාසයට ඇතුළත් වී තිබුණ නිසාම එදා ගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ට උගන්වන ලද කරුණු තුනක්‌ කෙරේ මගේ අවධානය යොමු කරමි.

1. කොළඹට ගොඩබට පෘතුග්‍රීසින්ගේ හැඩරුව හා ඔවුන් ඇඳ සිටි ඇඳුම්ද ආහාරපාන සඳහා ගත් දේ ගැනද, ඔවුන් සතු ආයුධ ගැනද ෂඞ වැනි ධර්ම පරාක්‍රමබාහු රජුට, කොළඹ වෙරළ තීරයේ ධීවරයන් විසින් පවසන ලද ආකාරය -

2. කොළඹ සිට කෝට්‌ටේ දක්‌වා ඉතා දිගු වක්‍රාකාර මාර්ගයක්‌ ඔස්‌සේ දින කීපයක්‌ තිස්‌සේ ගමන් කිරීමත්, පරංගියා මුලා කරන්නට තැත්කළ සිංහලයා තමන් මුලා වූ සැටි.

3. කොළඹ ප්‍රදේශයෙන් ගබඩාවක්‌ ඉදිකර ගැනීම සඳහා "ගෙරි සමක" ප්‍රමාණයකට අවසර ගෙන විශාල වපසරියක්‌ ඇතුළත් වන සේ කොටුවක්‌ බැඳ ගැනීම. මෙයින් හැඟවෙන්නේ "ගෙරිසම" සිහින් තීරුවලට ඉරා ගැටගසා ගත් ප්‍රමාණයට අනුව කොටුව ඉදිකර ගැනීමෙන් ධර්ම පරාක්‍රමබාහු රජු, පෘතුග්‍රීසින් රැවටූ බවයි.

ඉහත දැක්‌වූ කරුණු ග්‍රන්ථාරූඪ වී ඇති නිසාම 21 වැනි සියවසේදීත් නැවත සිහි කැඳවීමට ලක්‌වෙන බව සති අන්ත පුවත්පත් අතිරේකවලින් දැකගත හැකි වේ. අසත්‍යය වුවත් නිතර කියවෙන විට එය සත්‍යයක්‌ ලෙස පිළිගැනෙන බව ගොගොල් (හිට්‌ලර්ගේ අණදෙන නිලධාරි) විසින් කියා ඇත. මේ ලිපිය ලිවීම සඳහා මා ඇසුරු කළ ඉතිහාස ග්‍රන්ථයේ විශ්වසනීය බවින් තොරවූ එවන් උපුටාගත් පුවතක්‌ මෙසේ සඳහන් කර ඇත.

ක්‍රිස්‌තු වර්ෂයෙන් 1522 ක්‌ වූ අප්‍රේල් මාසයේ දී ජම්බුද්වීපයේ සිට ප්‍රතිකාලුන්ගේ නැවක්‌ කොළඹට ඇවිත් නැංගුරම් ලෑවේය. ඒක වරායේ තිබෙන අතර කොළඹ වැසියෝ ඒ ගැන රජයට දන්වා අරින්නාහු, දැන් අපේ කොළඹ වරායේ ඉතා සුදු පාට හා ලක්‌ෂණ ඇති මනුෂ්‍ය වර්ගයක්‌ සිටිති. ඔවුහු යකඩ පාවහන් ලා යකඩ තොප්පි අඳිති. නිතරම ඔබ මොබ යති. තිරිවානගල් කා ලේ බොති. එක මනුෂ්‍යයකුට රිදී දෙකක්‌ තුනක්‌ දෙති. මේඝ ගර්ජනාවක්‌ සේ හඬ නඟන තුවක්‌කු ඔවුන්ට ඇත්තේය.

සමහර විට ඊටත් වඩා උස්‌ හඬක්‌a එයින් නැගෙන්නේය. ඉන් එකකින් වෙඩි තැබූ කළ උණ්‌ඩය ගව් ගණනක්‌ ගොස්‌ වන් කළ ගල් කොෂ්ඨ හෝ යකඩ කොෂ්ඨ වී නමුත් බිඳ හෙලන්නේ යයි කියා හැරියෝය. ඒ අසා විශ්මයට පත්වූ පරාක්‍රමබාහු රජ මන්ත්‍රී සභාව රැස්‌කොට "අපි මේ පරදේශීන් හා සමාදානයෙන් සිටිමුද? යුද්ධ කරමුදැයි" විචාළේය. (රාජාවලිය)

පෘතුග්‍රීසි ලේඛනවලට අනුව රාජාවලී කතුවරයා "සුදුගල් කා ලේ බිව්" පුවත ඊට ඇතුළත් කරන්නට ඇත. මේ පුවත හා නිසි විමසීමකින් තොරව ඊට එක්‌වූ අනුබද්ධිත අනෙකුත් තොරතුරුද පසුකාලීන සංස්‌කරණවලටද ඇතුළත් වූවා විය හැකිය.

"සැක කරව - විමසා බලව" යන කාලාම සූත්‍රයේ එන බුදු වදනට අනුව මමද, මෙහි සත්‍යය වටහා ගන්නට උත්සාහ කරමි.

1505 වැනි අතීතයක කොළඹ ප්‍රදේශයේ විසූ සිංහලයන් තාක්‌ෂණික ඥනයෙන් හා සම තත්ත්වයක නොසිටි බව සැබෑවකි. එහෙත් ඔව්හු අපරදිග විදේශිකයකු ආහාරයට ගන්නා දෙයක්‌ හඳුනා ගැනීමට නොහැකි තරම් හීනවූ බුද්ධියෙන් යුත් පිරිසක්‌ද නොවූහ. සුදු ගල් හෙවත් තිරුවානා ගල් ආහාරයට ගත නොහැකි බව මන්ද බුද්ධිකයෙක්‌ හැර වෙනත් ඕනෑම කෙනෙක්‌ දනිති. රතු පැහැති වයින් රුධිරය ලෙස හඳුනා ගැනීමත් එසේමය. එවකට සිංහලයන්ගේ ආහාර වර්ග අතර තදින් සපා කෑ යුතු ආහාර ද තිබුණි. මීට අඩසිය වසරකට පෙර ශ්‍රී පාද වන්දනාවේ යන අය, ගල් මෙන් තද වූ අග්ගලා වර්ගයක්‌ අමතර ආහාරයක්‌ ලෙස ගෙන ගිය බව දන්නෝ තවමත් අප අතර වෙති. ගම්මිරිස්‌ යොදා සකස්‌ කරන ලද තදින් සපා අනුභව කළ යුතු මේ අග්ගලා වර්ගය අමතර ආහාරයක්‌ ලෙස අතීතයේ සිට සිංහලයන්ට උරුම වූවකි. මේ රසවත් අතුරුපසය කල්තබා ගැනීමට හැකිවීම නිසා එය දුර ගමන්වල යෙදෙන්නන්ට බොහෝ ප්‍රයෝජනවත් වූහ.

පෘතුග්‍රීසින් වයින්වලට කටගැස්‌මක්‌ සේ පාවිච්චි කළ තද ආහාරය "විස්‌කිරිඤ්ඤා" ප්‍රභේදයක්‌ ලෙස මම උපකල්පනය කරමි. විස්‌කිරිඤ්ඤ කල්තබාගත හැකි රසවත් ආහාරයකි. දීර්ඝ කාලීනව මුහුදු ගමන්වල යෙදුන ඔවුන් අමතර ආහාරයක්‌ ලෙස එය ගත්තා විය යුතුය. වර්තමානයේ සුපිරි වෙළෙඳසල්වල පවා අලෙවි කරන දිගු හැඩයෙන් යුත් විස්‌කිරිඤ්ඤ එකල සුදු පැහැති කුට්‌ටි වශයෙන් සාදන්නට ඇත.

ප්‍රතිකාල්වරුන්ගෙන් අපට දායාද වූ අච්චාරු, පස්‌තෑල (Pastry) රටදෙල් වැනි ආහාර අතර විස්‌කිරිඤ්ඤවලට ඇති ඉල්ලුමද එසේම පවතී.

පෘතුග්‍රීසින් නිතරම ගන්නා ආහාර සිංහලයන්ට ආගන්තුක වූ නිසා "තිරුවානා ගල් සපා කා ලේ බොන" බව හාස්‍ය පිණිස කීවාද විය හැකිය.

1505 දී කොළඹට ගොඩබට පෘතුග්‍රීසින් ඉතා දුරස්‌ වූ වක්‍ර මාර්ගයක්‌ ඔස්‌සේ කෝට්‌ටේ රජ මාළිගාවට කැඳවාගෙන යැමේ පුවතද අසත්‍යයක්‌ ලෙස බැහැර කරන්නට සිදුවේ. සමහර ඉතිහාස ග්‍රන්ථවලට අනුව මෙය ගාල්ලේ සිදු වූවක්‌ ලෙසද සඳහන් වේ. 1505 දී ලොරෙන්සූද අල්මේදා නම් පෘතුග්‍රීසි කපිතාන්ගේ රුවල් නැව් අවපාතයකට හසුව ගාලු වරායේ නැංගුරම් ලෑ බවත්, එවකට ලංකාවේ මුහුදුබඩ පෙදෙස්‌වල වෙළෙඳ ආධිපත්‍ය අත්කරගෙන සිටි මරක්‌කල වෙළෙඳුන් මේ රටේ අගනුවර ගාල්ල බව හඟවා දුර බැහැර මාවත් ඔස්‌සේ පිටිසරට ගෙන ගොස්‌ ව්‍යාජ රජෙකු හමුවන්නට සැලැස්‌වූ බවද කියවේ. මේ තානාපති ගමනට නායකත්වය දුන් "පයෝදසෞසා " නම් පෘතුගීසි නිලධාරියා මරක්‌කල වෙළෙඳුන් කළ වංචාව පසුව අවබෝධ කරගත් නමුත් ඒ බව නොහඟවා සිහිවීම් ගල් කණුවක්‌ පිහිටුවා නැවත පිටත්ව ගිය බවත් සඳහන් වේ.

මේ පුවත 1505 දී ගාල්ලේ සිදු වූවක්‌ ලෙස පිළිගතහොත් කොළඹට සම්බන්ධ වන "පරංගියා කෝට්‌ටේ ගිය කථාව" ප්‍රතික්‌ෂේප කරන්නට සිදු වේ. මෙය කොළඹදී සිදු වූවක්‌ ලෙස සලකන්නේ නම් ප්‍රතිකාලුන් සමග ගමන් කළ සිංහල පිරිස ශ්‍රව්‍යාබාධිතයන් විය යුතුය.

ඉතාම කෛරාටික පිරිසක්‌ වූ පෘතුග්‍රීසින් තමන් ගමන් කරන ඉසව්ව දැන ගැනීම සඳහා කොළඹ වරායේ සිට නිකුත් කළ කාලතුවක්‌කු වෙඩි හඬ උපයෝගී කරගත්තා නම් එය සිංහල, පෘතුග්‍රීසි යන දෙපිරිසටම එකසේම ශ්‍රවණය විය යුතුය. එවිට පෘතුග්‍රීසින් තමන්ට වඩා කපටි බව වටහා ගන්නා සිංහල පිරිස තවදුරටත් උන් රවටන්නට උත්සාහ නොකරනු ඇත. පරංගියා කෝට්‌ටේට කැඳවා ගෙන යැමෙන් සිංහලයෝ පෘතුග්‍රීසින්ගේ ගැටයට හසුවූ බව පිළිගත හැකිදැයි සිතා බැලිය යුතුය.

කෝට්‌ටේ ධර්ම පරාක්‍රමබාහු රජු බැහැදුටු පෘතුග්‍රීසි තානාපති තැන ගබඩාවක්‌ ඉදිකර ගැනීම සඳහා "ගෙරිසමක" ප්‍රමාණයක්‌ ඉල්ලීමේ පුවත ඉතිහාසයට එක්‌වී ඇත්තේ රජුගේ සංග්‍රහශීලී පිළිවෙත මෝඩකමක්‌ ලෙස හුවා දැක්‌වීමෙනි. "ගව සමක" බිම් ප්‍රමාණයක ගබඩාවක්‌ ඉදිකළ නොහැකි බව රජු නොදැන සිටියේද යන්න විමසා බැලිය යුතුය.

"ගෙරි සම" යනු එකල පෘතුග්‍රීසි කට වහරේ තිබූ මැනුම් ඒකකයක්‌ බව සිතිය හැකිය. ගවයන් මරා මස්‌ කෑම සිංහලයන්ටද හුරු කළ පෘතුග්‍රීසින් ඉතා සුළු බිම් ප්‍රමාණයක්‌ හැඟවීම සඳහා "ගෙරි සමක්‌" ඊට සමාන කිරීම ගැන පුදුම විය යුතු නැත. කටවහරේ මිනුම් ඕනෑම රටකට පොදුය. "අල්ලක්‌ විතර" යන්න ඉතා සුළු බිම් ප්‍රමාණයක්‌ සඳහා වේ. වර්තමානයේදීත් භාවිතා වන වදනකි. හේන් කෙටීම සඳහා කෝරළේගෙන් හෝ ආරච්චිගෙන් අවසර ලබාගත යුතු අවධියක විසූ ගැමියෝ ඉතා සුළු බිම් ප්‍රමාණයක්‌ හැඟවීම සඳහා ඉඩම් කරටියක්‌ හෝ ඉඩම් අගිස්‌සක්‌ ඉල්ලූහ.

අසීමිත වූ කැලෑ ඉඩම්වල අග්ගිසි හෝ කරටි නැතත් අක්‌කර කීපයක්‌ කොටුකර ගැනීමට අවසර ලැබේ. ඉල්ලීම, ලබාගත හැකි තරම් සැහැල්ලු කරනු සඳහා එවැනි ආදේශ වදන් භාවිතා කරනු ලැබීය. දුර දැක්‌වීමේදී සිංහලයෝ කිලෝමීටර් භාගයක තරම් දුරක්‌ වුවත් "අතේ දුර" ලෙස හඳුන්වති. "අතේ දුර" යනු පයින් යා හැකි කෙටි දුරක්‌ බව කවුරුත් දනිති.

කෝට්‌ටේ රජු මෝඩයෙක්‌ නම් ගෙරි සමක ප්‍රමාණය තුළ ගබඩාවක්‌ ඉදි කරන්නේ කෙසේදැයි පෙරළා විමසනු ඇත. මොවුහු බලාපොරොත්තු වන්නේ ගබඩාවකට සෑහෙන තරම් විශාල බිම් කඩක්‌ බව රජතුමා දැන සිටියේය. රජුගේ ආගන්තුක සත්කාරයෙන් අයුතු ප්‍රයෝජන ගත් පරංගියා ගබඩාවක්‌ ඉදිකොට ඒ වටා කොටුවක්‌ද ඉදිකිරීමට පසුබට නොවීය. එහෙත් අවාසනාවකට මෙන් මේ පුවත ඉතිහාසයට එක්‌වී ඇත්තේ ගෙරි සම සිහින් තීරුවලට ඉරා සකස්‌ කරගත් ලණුවක ප්‍රමාණයට බිම් ප්‍රමාණයක්‌ මැනගත් බවයි. එයින් රජුගේ ත්‍යාගශීලී, යහපත් ගුණය යටපත් වී පෘතුග්‍රීසින්ගේ ශූර බුද්ධිය ඉස්‌මතු විය.

වසර 153 ක්‌ වූ පෘතුග්‍රීසි පාලන කාලය තුළ තවත් ඉතිහාසයට සාවද්‍ය තොරතුරු එක්‌වී ඇතත් මා මෙහි දැක්‌වූයේ සිංහලයන් මෝඩයන් බවට පත්කළ ලේඛන ගතවී ඇති පුවත් තුනකි. පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන අපරදිග ජාතීන් ත්‍රිත්වයම සිය රටවල රජුන්ට අප හඳුන්වාදී ඇත්තේ ලංකාද්වීපයේ වෙසෙන්නන් අර්ධ වනචාරී ජන සමූහයක්‌ වශයෙනි.

රොබෙයිරෝ, ක්‌වේරෝස්‌ ඇතුළුව මෑත ඉතිහාස පිළිබඳ විවිධ සටහන් තැබූ අපරදිග ලේඛකයන්ගේ සටහන්වල අඩුපාඩුකම් තිබුණත් ඔවුන්ගෙන් සිදුවූ සේවයද අමතක නොකළ යුතුය.

ආශ්‍රිත ග්‍රන්ථ
1900 දී වාසලමුදලි සයිමන්ද සිල්වා මුදලිතුමා විසින් ලියන ලද ,"The History of Ceylon", ග්‍රන්ථය
පී. ඇම්. සේනාරත්න

සංස්‌කරණය - රාජාවලිය

 

 

Make a Free Website with Yola.